අයිඩා (AIDA) සංකල්පය

සන්නිවේදන ක්‍රියාදාමය සාර්ථක වීමට නම් ප්‍රචාරණ වැඩසටහනක් තුළ අයිඩා සංකල්පය ක්‍රියාවට නැංවිය යුතු බව බටහිර රටවල පිළිගත් මතය යි. අයිඩා යන වචනය තැනී ඇත්තේ අවධානය (Attention), උනන්දුව  (Interest), ආශාව (Desire) සහ ක්‍රියාව (Action) යන වචනවල මුල අකුරු එකතු වීමෙනි.
අවධානය
ප්‍රචාරණ දැන්වීමක මූලික කාර්යය විය යුත්තේ අවධානය දිනා ගැනීමයි. එය සිදු නොවුවහොත් ඉලක්ක ගැනුම්කරුවෝ දැන්වීම් කියවීම හෝ ඒ දෙස බැලීම හෝ නොකරති. රෑපවාහිනියේ හෝ ගුවන්විදුලියේ හෝ දැන්වීම් ප්‍රචාරය වන අතරතුර වෙනත් කතාබහක නියැලීම පොහෝ දෙනාගේ සාමාන්‍ය පුරුද්දකි. තවත් සමහරුන් පුවත්පත් පෙරළන්නේ දැන්වීම් පිළිබඳව කිසිදු තැකීමක් නොකරමිනි. අවධානය යොදු කරවා ගැනීම සඳහා විශාල හෝ කුතුහලය දනවන ශීර්ෂ පාඨ යෙදීම හෝ ආකර්ෂණීය කාන්තාවන් භාවිත කිරීම හෝ කුඩා දරුවන්, නාටූන් චරිත උපයෝගී කර ගැනීම වැනි නෙත ඇදී යන උපක්‍රම භාවිත කෙරේ.
උනන්දුව
ප්‍රචාරණ දැන්වීමක තවත් මූලික අවශ්‍යතාවයක් වන්නේ උනන්දුව රඳවා ගැනීමයි. ලස්සන පෙනුමින් යුත් තරුණියක් අපගේ අවධානය දිනා ගනී. ඉන්පසු සිදුවිය යුත්තේ ඇය තමා කෙරෙහි, අප තුඝ උනන්දුවක් ඇති කරවීමයි. දැන්වීමක භාෂාව ඉලක්ක ගැනුම්කරුවන්ට වඩාත් ගැළපෙන්නක් වීම, එය ඔවුන්ගේ ආකල්පවලට ගෝචර වීම, පින්තූර සිත් ගන්නා නැවුම් ආරයකින් යුතු වීම, ආදී අංග ලක්ෂණ අඩංගු වූ විට ඒ කෙරෙහි උනන්දුව රැඳවීමක් සිදු වේ.
ආශාව
මෙය ඉතා දුෂ්කර කාර්යයක් ලෙස සැලකේ. වෙළෙඳ ආයතනය ගැනුම්කරුවා සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුය. ඉලක්ක ගනුදෙනුකරුවන් සිතන්නේ, හැසිරෙන්නේ සහ තීරණය ගන්නේ කෙසේද යන්න ප්‍රචාරකයාට දැන ගන්නට ලැබෙන්නේ එවිටය. සාර්ථක දැන්වීමක් කියවන පාරිභෝගිකයන්ට ඒත්තු යා යුත්තේ එහි සඳහන් නිෂ්පාදිතයෙන් තම අවශ්‍යතා හොදින් සපුරා ගත හැකි බවයි. තම ජීවිතයේ ප්‍රගතියට ඉවහල් වන බවයි. මෙවැනි සාර්ථකත්වයකින් යුත් දැන්වීම්, නිෂ්පාදිතයේ ඉල්ලුම වැඩි කතිරීමට උපකාරී වේ. ආශාව පාරිභෝගිකයා තුළ භාව විශයයික හැඟීම් වර්ධනය කළද විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලදී නම් ආර්ථික බලපෑම් එය ක්‍රියාත්මක කිරීමේ දී නැවත සිතා බැලීමකට යොමු කරවයි.
ක්‍රියාත්මක වීම
ප්‍රචාරණ දැන්වීමක අවසාන කාර්යය ගැනුම්කරුවා ක්‍රියාත්මක වීමයි. ඒ තත්ත්වයට ඔහු පත් කිරීම පහසු කාර්යයක් නොවේ. අදාළ නිෂ්පාදිතයේ ගනුදෙනුකරුවන් විය හැකි පුද්ගලයන් අප දැන සිටිය ද ඔවුන්ගේ මිලදී ගැනීමේ ක්‍රියාව ක්ෂණිකව සිදු නොවේ. ගනුදෙනුකරුවන් ඒ සඳහා පෙළඹෙන්නේ එම නිෂ්පාදනයෙන් තම ජීවිතයට කිසියම් පූර්ණත්වයක් ලැබේ නම් පමණි. පාරිභෝගිකයන්ගේ මෙවැනි චර්යාවන් හඳුනාගෙන ඒ අනුව දැන්වීම් සකස් කිරීමට අලෙවි පර්යේෂණ සහාය වෙයි.

නිෂ්පාදනය මිල දී ගැනීමෙන් පසුව ද ප්‍රචාරණ කාර්යය නිමා නොවේ.  ඉන් පසුව සිදුවන ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉල්ලුම දිගින් දියටම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වේ. මිලදී ගත් නිෂ්පාදිතයෙන් තම අවශ්‍යතාවය සත්‍ය ලෙස ම පිරිමැසුණු බව ඒත්තු යා යුතුය. එම වෙළෙඳ නාමය සහිත නිෂ්පාදනය දිගින් දිගටම මිලදී ගැනීමට ගැනුම්කරුවා පෙළඹෙන්නේ එවිටය. ඒ සඳහා ප්‍රචාරණ දැන්වීම් සාර්ථක විය යුතු සේ ම නිෂ්පාදිතයේ ගුණත්වය සහ ප්‍රමිතිය ඉහළ මට්ටමක තිබීම ද අත්‍යවශ්‍ය ය. 

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post