පුරාණ සන්නිවේදනය



ලෝකයේ ඕනෑම ප්‍රදේශයක කුමන කාලයක වුවද පැවති ශිෂ්ටාචාරයක සංවර්ධනය සඳහා සන්නිවේදන ක්‍රම ප්‍රබල දායකත්වයක්‌ සපයා ඇත. ශිෂ්ටාචාරයක හෝ සමාජයක සංවර්ධනය කෙරෙහි ප්‍රධාන වන්නේ දැනුම රැස්‌ කිරීම හා බෙදාහැරීමය. මිනිසා විසින් කාලයෙන් කාලයට රැස්‌ කර ගන්නා දැනුම ඊළඟ පරම්පරාවට දායාද කරදීමය. මිනිසා මෙම දැනුම උපයෝගී කරගෙන නව නිපැයුම් කිරීමටත්, සොබාදහම පාලනය කිරීමටත් භෞතික සම්පත් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා පරිවර්තනය කිරීමටත් පෙළඹීමේ ප්‍රතිඵලය වූයේ ප්‍රාථමික සමාජ ජීවිතයක්‌ ගත කළ මිනිසා විසිඑක්‌ වැනි සියවසේ සමාජය දක්‌වා පිය නැඟීමය. එසේ පිය නැඟීම සඳහා ප්‍රධානතම සාධකයක්‌ වී ඇත්තේ සන්නිවේදනයයි.

සන්නිවේදනය අර්ථ නිරූපනය

සන්නිවේදනය යනු යම්කිසි තැනැත්තෙකු විසින් කිසියම් මාධ්‍යයක්‌ උපයෝගී කරගනිමින් තවත් කෙනෙකුට කිසියම් තොරතුරක්‌, පණිවුඩයක්‌ දැන්වීම සේ සරල වශයෙන් අර්ථ නිරූපණය කළ හැකියි. එවැනි ඕනෑම ආකාරයක සන්නිවේදනයක්‌ සඳහා පණිවුඩයක්‌ ලබා දෙන්නෙකු නැතහොත් සන්නිවේදනය කරන්නෙකුද පණිවුඩයක්‌ ද එසේම පණිවුඩය ලබන්නෙකුද අවශ්‍ය වේ. මෙම ක්‍රියාවලිය එක්‌ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට හෝ සමූහයකට කරන දැනුම්දීමක්‌ හෝ සමූහයක්‌ විසින් තවත් කණ්‌ඩායමකට කරනු ලබන දැනුවත් කිරීමක්‌ විය හැකියි. මෙහිදී කිසියම් කෙනෙකු විසින් පණිවුඩයක්‌ ලබාදෙන අවස්‌ථාවේදී ම එම පණිවුඩය ලබා ගැනීම සඳහා පණිවුඩය ලබන්නෙකු සිටීම අවශ්‍ය නොවේ. ලෝකයේ සන්නිවේදන ක්‍රමවල ඉතිහාසය පිරික්‌සා බැලීමේදී ඒ සඳහා විවිධ මාධ්‍ය යොදා ගනිමින් සන්නිවේදනය සංවර්ධනය වෙමින් අවුත් වත්මන් අවධිය වන විට විද්යුත් මාධ්‍යය, මුද්‍රිත මාධ්‍ය භාවිත කිරීම දක්‌වා වැඩිදියුණු වී ඇති ආකාරය පැහැදිලි කරගත හැකියි. මෙහිදී පුරාණයේ සිටම වචන භාවිතයෙන් කරනු ලබන වාචික සන්නිවේදන විධි ක්‍රම මෙන්ම වාචික නොවන සන්නිවේදන විධික්‍රම ද ණොන්-වෙර්බල් Cඔම්මුනිcඅටිඔන් උපයෝගී කරගෙන තිබේ. කථා කිරීම, ගායනා කිරීම, හඬ ස්‌වරාදිය වාචික සන්නිවේදනයේ ප්‍රධාන අංගයන් වන අතර වාචික නොවන සන්නිවේදනයට උදාහරණ වශයෙන් අභිනය, මුද්‍රා, සංකේත, ශාරීරික සංඥ, ලේඛනය, රූප සටහන්, සිතුවම්, කැටයම් හා මූර්ති ආදිය පුරාණයේ සිටම ලෝකයේ සියලු දියුණු ශිෂ්ටාචාරවල යොදාගෙන ඇති බවට සාක්‌ෂි හමුවී තිබේ. මෙකී වාචික නොවන සන්නිවේදන ක්‍රම පිළිබඳ විග්‍රහයක්‌ කරන ජී. ඩබ්ලිව්. පෝටර් ප්‍රධාන වශයෙන් එය අංග සතරකට බෙදා දක්‌වා තිබේ.

1. ශාරීරික

2. සෞන්දර්යාත්මක

3. සංඥ

4. සංකේත යනුවෙනි.

ශාරීරික ( මෙය පෞද්ගලික සන්නිවේදන ක්‍රමයකි. එහිදී මුහුණින් සිය හැඟීම් දැක්‌වීම, හඬ ස්‌වරය, ශරීරය ස්‌පර්ශ කිරීමෙන් කරනු ලබන දැනුම්දීම් ආදී ශාරීරික ඉරියව් අයත් වේ.

සෞන්දර්යාත්මක ( මේ යටතට නිර්මාණාත්මක සන්නිවේදනයන් අයත් වේ. සංගීත භාණ්‌ඩ වාදනය, නර්තනය, සිතුවම් හා මූර්ති මේ සඳහා උදාහරණයන්ය.

සංඥ - මේ තාක්‌ෂණික සන්නිවේදන ක්‍රමයන්ය. උදාහරණ - කොඩියක්‌ වැනීම, වෙඩි මුර, පණිවුඩ හඟවන නළා හා බෙර වැනි ශබ්ද උපදවන භාණ්‌ඩ දැක්‌විය හැකිය.

සංකේත - ආගමික සංකේත, තත්ත්වය හඟවන සංකේත යනාදිය උදාහරණය.

සන්නිවේදනයේ ආරම්භය

අති පූරාණයේ සිටම මානවයන් විසින් පමණක්‌ නොව සතුන් විසින් ද සිය අදහස්‌ එක්‌තරා ප්‍රමාණයකට තම ප්‍රජාවට සන්නිවේදනය කිරීම සඳහා සිය හඬ ක්‍රමය උපයෝගී කරගෙන ඇත. විශේෂයෙන් විවිධ පක්‌ෂීන් මෙන් ම සිවුපාවුන් ද ඔවුන්ට අනතුරක්‌ ඇති බව දැක්‌වීමට හෝ ආහාරයක්‌ ලැබී ඇති බව හෝ සතුට දැක්‌වීමට විවිධ හඬ ක්‍රම යොදා ගන්නා ආකාරය කෙනෙකුට ඒ පිළිබඳ දැඩි අවධානයක්‌ යොමු කිරීමෙන් අවබෝධ කරගත හැකියි. වනයේ දඩයම් සඳහා ගැවසෙන ජනතාව හෝ වනයේ ජීවත් වන අයද වෙනත් කාර්යයන් සඳහා වනයේ සැරිසරන අයද විවිධ සතුන්ගේ මෙම හඬ නිරීක්‌ෂණය කිරීමෙන් සතුරු උවදුරු ආදිය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගනු ලැබේ. නිදසුනක්‌ වශයෙන් සිය නිවසේ වෙසෙන සුනඛයකු බුරන හඬ අනුව නිවසට නාඳුනන තැනැත්තෙකු පැමිණියේ ද සර්පයකු පැමිණියේද නැතහොත් ගෙහිමියා පැමිණියේ ද යන්න නිවැසියන්ට තීරණය කරගත හැක්‌කේ ඒ එක්‌ එක්‌ සිදුවීම් අනුව සුනඛයාගේ බිරීම් හඬ වෙනස්‌ නිසාය. මේ ආකාරයෙන් ම ගෙම්බන්ගේ කෑගැසීම් හඬ අනුව නියං කාලය පැමිණීම, කපුටන්ගේ හා කුකුළන්ගේ හඬ අනුව දවස උදාවන බව තේරුම් ගැනීම සතුන්ගේ හඬ සන්නිවේදනය පිළිබඳ තවත් උදාහරණ කීපයකි. මානවයා ද මුල්ම අවධියේ දී මේ ආකාරයෙන් සිය ප්‍රජාවට තම අදහස්‌ සන්නිවේදනය කරන්නට ඇත. මානව පරිණාමයේ මුල්ම අවස්‌ථාවන් පිළිබඳ අධ්‍යයනයක දී ඒ බව වඩාත් පැහැදිලි කරගත හැකි වේ.

භාෂා මාධ්‍ය ඇතිවීම

සිය අදහස්‌ අනිකුත් අයට සන්නිවේදනය කිරීම සඳහා තම කටහඬ ක්‍රමානුකූල ක්‍රමයකට හසුරුවා යොදා ගැනීම නැතහොත් කිසියම් ගැලපීම් රටාවටක අනුව ශබ්ද උච්චාරණය කිරීමේ ක්‍රමයක්‌ හුරුපුරුදු කොටගෙන එය වැඩිදියුණු කිරීමෙන් තම සමාජයේ සාමාජිකයන් සමග අදහස්‌ හුවමාරු කරගැනීම සඳහා කතා කිරීමේ භාෂා නිර්මාණය කිරීමේ හැකියාව මානව වර්ගයාට හිමිවීම සන්නිවේදන ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්‌ථානයක්‌ වන්නේය. පුරාණ ලෝකයේ විවිධ මානව කණ්‌ඩායම් මෙසේ තමාට ආවේනික වූ කතා කිරීමේ ක්‍රමයක්‌ සංවර්ධනය කරගැනීම නිසා වත්මන් ලෝකයේ අදහස්‌ හුවමාරු කර ගැනීම සඳහා මාධ්‍ය කොටගන්නා භාෂා දහස්‌ ගණනක්‌ දක්‌නට ලැබේ. මෙම සෑම භාෂාවකම ආරම්භක අවස්‌ථාව විමසා බැලීමේදී නව වචන එක්‌වීම, ශබ්ද වෙනස්‌වීම් ආදී වශයෙන් අද පවත්නා තත්ත්වයට ක්‍රමයෙන් ඒවා විකාශනය වෙමින් ආ හැටි අවබෝධ කරගත හැකිය. ලෝකයේ අනිකුත් සියලු සතුන් අභිබවා මානවයාට මේ හැකිකම ඇති වූයේ අනිකුත් කිසිම සතෙකුට නොමැති කතා කිරීමේ හැකියාව ස්‌වභාව ධර්මය මගින් මානවයාට ලැබී තිබීමය. එපමණක්‌ නොව අනිකුත් සියලුම සතුන් හා සැසඳීමේදී මානවයාගේ කපාල ධාරිතාව ඔවුන්ට වඩා විශාල වන හෙයින් මිනිසාට අනිකුත් සතුන්ට වඩා යමක්‌ සිතීම, නිර්මාණය කිරීමාදී අංශ වැඩිදියුණු කර ගැනීමට තිබූ හැකියාවද මිනිසාට දෙපයින් නැඟී සිටිමේ හැකියාව හා සිය දෑත පාවිච්චි කරමින් වැඩ කිරීමේ හැකියාවද ලැබී තිබීම අනිකුත් කිසිදු සත්ත්වයෙකුට නොහැකි පරිදි ඉතා හොඳ සන්නිවේදන ක්‍රමයක්‌ නිර්මාණය කර ගැනීමට සාධකයක්‌ වී ඇත. මෙසේ කතා කිරීමේ භාෂාවක්‌ නිර්මාණය කරගැනීම නිසා මානවයාට සිය අදහස්‌ සිය සමායේ අනිකුත් සාමාජිකයන් සමග හුවමාරු කර ගැනීමට හැකියාව මෙන්ම අවස්‌ථාද උදා වූවා පමණක්‌ නොව එක්‌ එක්‌ පරම්පරාව මගින් සමාජයේ සියලුම අංශ පිළිබඳ එතෙක්‌ රැස්‌කොට ගෙන තිබූ දැනුම ඉදිරි පරම්පරාවට දායාද කරදීමේ හැකියාව ද හිමි වීමෙන් විශිෂ්ට මානව ශිෂ්ටාචාරයන් පහළවීම සිදුවී ඇත. 

මානව විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් දැනට අනාවරණය කරගෙන අති පරිදි ලොව අනිකුත් සතුන්ගෙන් වෙන්ව මානවයා ශිෂ්ටාචාර ගතවීම සිදු වන්නට ඇත්තේ මීට වසර ලක්‌ෂ දෙකකට පමණ පෙරාතුවය. එම අවස්‌ථාවේදී මානවයා කිසියම් ප්‍රමාණයකට ශබ්ද උච්චාරණය කිරීම හා කතා කිරීම කරන්නට ඇති බව සැලකේ. මේ තත්ත්වය ඇති වන්නේ හෝමෝ සේපියන්ස්‌ නමැති අවධියේ දී බව සැලකේ. මෙසේ මානවයා විසින් යම් දිනක නිර්මාණය කරගත් භාෂාව සන්නිවේදනයේ දී ඉතා වැදගත් වී ඇත. එය අංශ දෙකක්‌ යටතේ ක්‍රියාත්මක වී ඇත. 

එහිදී ප්‍රථමයෙන් ඉහත සඳහන් කළ පරිදි භාෂණය හෙවත් කතා කිරීමේ භාෂාවක්‌ නිර්මාණය කර ගැනීමත්, දෙවැන්න වශයෙන් එම භාෂණයේ ශබ්ද එක්‌තරා සංකේත ක්‍රමයක්‌ භාවිත කරමින් වෙනත් අයට සන්නිවේදනය කිරීමට ප්‍රයත්න දැරීම නිසා නිර්මාණය වූ ලේඛන කලාවක්‌ යනුවෙන්ය. ලේඛන ක්‍රමයක්‌ නිර්මාණය වීමට පෙරාතුව පටන් කතා කිරීමේ භාෂාවක්‌ ඇතිවීමත් හේතුවෙන් තමා රැස්‌කළ දැනුම හා අත්දැකීම් තම සමාජයේ අනිකුත් අයට සන්නිවේදනය කිරීමට හැකිවීම නිසා එම දැනුම දෙවැනි පරම්පරාවට ද දායාද කරදීමට හැකිවීම සමාජ සංවර්ධනය කෙරෙහි බෙහෙවින් බලපා ඇත. එමගින් මානවයාට තම පරිසරය තමාට අවශ්‍ය පරිදි වෙනස්‌ කර ගැනීමට හැකිවිය. මානවයා ශීලාචාර වී සංස්‌කෘතියක්‌ ඇතිවීම කෙරෙහි මෙසේ කතා කිරීම මාධ්‍ය කොටගෙන සිය දැනුම සන්නිවේදනය කිරීමට පොහොසත් වීම ප්‍රධාන සාධකය වී ඇත. ලෝකයේ මුල්ම සමාජවල පැවැති අධ්‍යාපන ක්‍රමය පිරික්‌සීමේ දී දේශන මාර්ගයෙන්ද භානක ක්‍රමය මුඛ්‍ය පාඨ වශයෙන් ශබ්ද නගා කියවීමෙන් මතක තබා ගැනීමද දක්‌නට ලැබේ. පුරාණ ඉන්දියාවේ බ්‍රාහ්මණයන් විසින් උපනිෂද් ඉගැන්වීමේ දී මේ ක්‍රමය භාවිත කිරීම මැඬි රැළක ශබ්ද කිරීමට සමාන කර ඇත. ලේඛන කලාව ආරම්භව තිබියදීත් කාලයක්‌ යන තුරු මෙම ක්‍රමය ක්‍රියාත්මක වී ඇති ආකාරය භික්‌ෂූන් විසින් කොටස්‌ වශයෙන් බෙදාගෙන බෞද්ධ විනය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඒම දැක්‌විය හැකිය. බෞද්ධ සාහිත්‍යයේ භානකවරුන් වශයෙන් සඳහන් වන්නේ මෙසේ මුඛ පරම්පරාවෙන් ධර්මය රැකගෙන ආ භික්‌ෂූන්ය. එහෙත් මිනිසා විසින් රැස්‌කළ දැනුම කතා කිරීමෙන් පමණක්‌ සන්නිවේදනය කිරීමේ දුර්වලතා දර්ශනය විය. එනම් කෙනෙකු විසින් කථනය මගින් සන්නිවේදනය කරන ලද දැනුම හෝ තොරතුරු තවත් කෙනෙකුට වෙනසකින් තොරව මතක තබා ගැනීමේ ශක්‌තිය කොතරම් කාලයක්‌ තිස්‌සේ පවතී ද යන්න ය. එය එක්‌ එක්‌ පුද්ගලයා අනුව වෙනස්‌ වීමට හැකි බවය. එසේ දැනුම රැස්‌කළ යම් මානව කණ්‌ඩායමක හෝ සිටි දැනුම් ඇති තැනැත්තා හදිසියේ මියගිය හොත් එතෙක්‌ රැස්‌ කළ දැනුම නැතිවී යැමට හැකිවීම ආදී දුර්වලකම් ඇති වේ. එවැනි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයකදී ගුරුවරයා විසින් ගුරු මුෂ්ටි තබා ගන්නේ යෑයි යන සංකල්පය සමාජයේ දක්‌නට ඇත්තේ දැනුම සන්නිවේදනය කිරීමේ මෙම ක්‍රමය යටතේය. එසේ මුඛ පරම්පරාවෙන් දැනුම ලබාදීමේ දී ඉහත කී අයුරු ගුරුවරයා අවසානය දක්‌වා සිය දැනුම් සම්භාරය සමහමුලින්ම ශිෂ්‍යයාට ලබා නොදී ගුරු මුෂ්ටි තබා ගැනීමෙන් පරම්පරා ගණනක්‌ රැස්‌කළ දැනුම නැති වී යැමට ඉඩ සැලසුණි. පුරාණයේ පමණක්‌ නොව මෙම දුර්වලතාව නිසා ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රමවලදී දැනුම නැති වී යැම පාරම්පරික ශිල්ප ක්‍රමවලදී ද බොහෝ සෙයින් සිදුවී ඇත. මේ නිසා මිනිසාට සිය දැනුම සන්නිවේදනය කිරීමේදී මීට වඩා සුරක්‌ෂිත හා නිශ්චිත උපක්‍රමයක්‌ හෝ මාධ්‍යයක්‌ සොයා ගැනීම ඵලදායක විය. භෞතික විද්‍යාත්මකව මානවයාගේ සංවර්ධනයත් සමගම ඊටත් වඩා වේගයෙන් සමාජ සංස්‌කෘතික සංවර්ධනයක්‌ සිදුවී ඇත. මේ තත්ත්වය සන්නිවේදනයේ සංවර්ධනය කෙරෙහිද බලපා ඇත.

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post