හින්දු විවාහ චාරිත්‍ර

සිංහල සංස්කෘතිය බෞද්ධ ආගමික හරයන් පදනම් කොටගෙන නිර්මාණය වූවකි. එසේම දෙමළ සංස්කෘතිය ද හින්දු ආගමික දර්ශනයන් පාදක කොටගෙන නිර්මාණය වූවකි. මෙහි ප‍්‍රභවය සිදු වන්නේ දකුණු ඉන්දියාව මුල් කරගෙනය. ”1971 දී සිදු කරන ලද සංගණනයකට අනුව මෙරට වෙසෙන ඉන්දියානු ද්‍රවිඩයන්ගෙන් සියයට 89.33 ක් හින්දු භක්තිකයන් වශයෙන් ලේඛන ගත කර තිබේ. යාපනයේ හැරුණු විට සියයට 50 ට වැඩි සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ උතුරේ වවුනියාව, නැගෙනහිර මඩකලපුව සහ මධ්‍යම කඳුකරයේ නුවර එළිය යන දිස්ත‍්‍රික්ක තුනේ පමණි. මේවායේ සියයට 52 සිට 56 දක්වා ප‍්‍රමාණයක් ම හින්දු භක්තිකයෝය
හින්දු ආගමේ ප‍්‍රධාන ඇදහිලි වන්නේ ශිව විශ්ණු හා ශක්ති යන ත‍්‍රිත්වයයි. මේවා අතුරින් ශිව ආගම හින්දූන් සිය ප‍්‍රධාන ආගමික උරුමය ලෙස සලකයි. ශිව සිද්ධාන්ත දර්ශනයෙන් මිනිසාට නිවැරදිව ජීවත් වීමට, දෙවියන් ලෝකය හා තමන් ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට උගන්වයි. දෙමළ ජනයාගේ ජීවන මාර්ගය එයයි.
හින්දු ආගමික ඇදහිලි වල හරය සූත‍්‍ර මඟින් ලියා දක්වා නැත. ඒවා ඔවුන්ට කියා දෙන්නේ පූජනීයත්වයෙන් සැලකෙන පැරණි කතා ආශ‍්‍රය කොටගෙනය. මේවා අතර මුනිවරයන් සහ දේවත්වයට පත් වූ කාන්තාවන්ගේ සහ පුරුෂයින්ගේ චරිත කතා, අවතාරයන්ගේ චරිත නිරූපණයන් සම්ප‍්‍රදායානුකූලව මුල් බැසගත් ඓතිහාසික සිද්ධි කථනයන් ආදිය ඇතුළත් වේ. නිවෙස්වල හා කෝවිල්වල පවත්වනු ලබන උත්සව හා චාරිත‍්‍ර වාරිත‍්‍රයන් තුළිනුත්, භක්ති ගීත ගායනය, නාට්‍ය රඟ දැක්වීම, ආදී දේ තුළිනුත් යම් ආදර්ශයන් ලබාදීම මගින් කුඩා කළ සිටම මතකයේ තදින් බැඳී යන සේ හින්දු විශ්වාසයන්, ආකල්පයන්  කාවද්දයි. මෙම අත්දැකීම් තුළින් ක‍්‍රමයෙන් වැඩිහිටියෙකු වීමේ දී ජීවිතය සඳහා ඒවායින් ලබාගත හැකි ආදර්ශයත්, අර්ථයත් උකහා ගැනීම ද සිදුවේ.
දරුවෙකු ඉපිද දින 31 ගත වීමෙන් පසුව දරුවා දෙවියන් වෙත පළමු වරට ගෙන යනදා සිටම මවගේ මුවින් පිටවන්නේ දෙවියනි, මා ඇති දැඩි කරන්නයන පාඨයයි. බාර හාර වෙමින් නිරන්තරයෙන් දරුවා සහ කෝවිල අතර සම්බන්ධතාව ගොඩනගනුයේ මව විසිනි. දරුවා වැඞීමත් සමඟ කෝවිලේ සීනු නාද කිරීම, දේව උත්සව සඳහා නැටීම, ගැයීම ආදියට සහභාගී කරවීම, විවිධ චාරිත‍්‍රයන් සිදු කිරීමට පෙළඹවීමත් පසුකාලීනව දරුවාගේ දෛනික පුරුදු බවට පත්වේ. නොදැනීම ආගමික චර්යා ධර්මයන් අනුව හික්මීමත්, ඒවා කඩ කිරීමට බියත්, ගෞරවයත්, භක්තියත් ක‍්‍රමයෙන් වර්ධනය වේ. සංස්කෘතියේ සෑම අංගයක් තුළින්ම පසුව මෙම ආගමික භාවයන් විද්‍යාමාන වීමට පටන් ගන්නේ ඉන් පසුවය.හින්දු භක්තිකයා සාමාන්‍යයෙන් දේව භය ඇති පුද්ගලයෙකි. ඔහුගේ ආගමික භාවය ප‍්‍රකාශයට ගැනෙන්නේ සිය ආගමික සම්ප‍්‍රධාය සහ දෛනික ජීවිතය අතර ඉතා සමීප සම්බන්ධයක් දැක්වෙන හෙයිනි. ඔහුගේ දෛනික ජීවිතය භක්තියෙන් ද පුණ්‍ය ක‍්‍රියා  මඟින් ලැබෙන අනුබලයෙන් ද ආගමික ඥානයෙන් ද සරු කර ගන්නේය.

හින්දු විවාහ සංකල්පය
හින්දු විවාහයද ආගමික සංකල්පයක් මත පිහිටා දෙවියන් ඉදිරියේ ඉටු කරනු ලබන පූජනීයත්වයෙන් ආඪ්‍ය වූ හින්දූන්ට අනුව විවාහයක දී ගැහැණියක ගේ සහ පුරුෂයෙකුගේ ජනන ශක්තිය ඉතාමත් උසස් ලෙස පිළිගන්නා දෙයකි. ඔවුන් එය කෙතරම් ඉහළින් සලකනවාද යත් ඊට ආරෝපණය කරගෙන ඇති දේවත්වය තුළින්ම එය සිතා ගත හැකිය.ශිව ඇදහිල්ලේ ප‍්‍රකට අංගයක් වූ ශිව ලිංගය ප‍්‍රජනනයේ පුරුෂ පදාර්ථයයිශිව දෙවිදුන්ගේ දේවිය ශක්ති හෙවත් ප‍්‍රජනනයේ ගැහැණු පදාර්ථය දක්වන ශක්ති දේවතාවියයි.
මේ අනුව ගැහැණියකගේ සහ පුරුෂයෙකුගේ එක්වීමෙන් බිහිවන බිළිඳා පරම්පරාවක් ඉදිරියට ගෙන යන ප‍්‍රධානතම සාධකය බව හින්දූන් ගේ විශ්වාසයයි. ශුක‍්‍රානුවට සහ ඩිම්බයට දේවත්වය ආරෝපණය කිරීම තුළින් ම එය ප‍්‍රත්‍යක්ෂ වේ. උපදින දරුවා කායික හා මානසික වශයෙන් නීරෝගිමත් විය යුතුය.මේ සඳහා විවාහපත් වන තරුණිය සහ තරුණයා මූලික කරුණු කිහිපයක් සපුරා තිබිය යුතුය
01. විවාපත් වන දෙදෙනාම උසස් සිතුවිලි හා පරමාර්ථවලින් යුක්තව සිටිය යුතුය. මෙයින් අදහස් කරනුයේ එකිනෙකාගේ හුුදු ශාරීරික අවශ්‍යතාවක් පිරිමසා ගනු සඳහා විවාහයක් සිදු නොවිය යුතු බවයිx අනාගතයේ දරුවන් ලැබ සැමගේ සිත් දිනාගෙන යහපත් පුරවැසියන් ලෙස ආගමානුකූල ජීවිතයක් ගෙවීම ඔවුන් දෙදෙනාගේ එකම පැමාර්ථය විය යුතුය. විවාහ දිනයේ සිදු කරන චාරිත‍්‍රයන් පවා මෙකී අර්ථයන් ගම්‍ය වන අයුරින් සැකසී තිබේ. උදාහරණයක් ලෙස අළුයම පටන් ගන්නා විවාහ නැකත් දීර්ඝ වේලාවක් පැවැත්වීමත් මේ මුළු කාලය තුළම මනාලියට හා මනමාලයාට නිරාහාරව සියල්ල ඉවසා සිටීමටත් හැකියාව තිබීම යනාදිය දැක්විය හැකිය.
02. දෙදෙනි තුළම දෙදෙනා කෙරේම සැබෑ සෙනෙහසක් තිබිය යුතුය. විවාහය සඳහා එක් අයෙකු තුළ පමණක් සෙනෙහසක් තිබීම පලක් නැත. එසේ වුවහොත් එක් අයකුගේ අවනත වීමක් හෝ ටික දිනකින්ම විවාහය බිඳී යාමක් සිදුවේ. එනිසා විවාපත් වන දෙදෙනාම දෙදෙනා කෙරේම අන්‍යෝන්‍ය අවබෝධාත්මක සෙනෙහසකින් යුක්තව සිටිය යුතුය.
03. දෙදෙනාම යහපත් ශාරීරික සහ මානසික සෞඛයකින් යුක්ත විය යුතුය.
04. විවාපත් යුවළ එක්වීම සිදුවන පරිසරය සිතට ප‍්‍රිය උපදවන ස්ථානයකදී සිදු විය යුතුයx
           
 “The bed in which the couple are to lie is decorated with floweß and garlandes of scented flower are placed on them” (Mukherji,1997:73).
සුවඳ මලින් සහ මල් මාලාවන්ගෙන් අලංකාර වූ යහනාවක් සකස් කිරීම තුළින් පවා හින්දූන් අපේක්ෂා කරනුයේ විවාපත් යුවලගේ මානසික සුවතාව රැකීමයි. මේ සඳහා සුභ නැකතක් බැලීම ද හින්දු චාරිත‍්‍රයයි. විවාහ උත්සව පැවති දිනයේ සුභ නැකතක් යෙදී නොමැති නම් සුභ  නැකතක් එළබෙන තුරු ප‍්‍රථම රාත‍්‍රිය සැමරීමේ චාරිත‍්‍රය කල් තැබීමට ඔවුන් කටයුතු කරයි.
හින්දු විවාහ සංකල්පයන්ගේ මූලික හරය වන්නේ ආත්මීය වූ මානව සම්බන්ධතාවන් නිර්මාණය කිරීමයි. ආගම තුළින් ඒවා රීතීන් ලෙස තහවුරු වීමට අවශ්‍ය පිටුබලය ලබා දී ඇත.

කේන්දර බැලීම
ඉහත හරයන් මත තරුණියකගේ සහ තරුණයකුගේ කේන්දර පරීක්ෂා කර බලා විවාහයක් තීන්දු කිරීමට හින්දු ජනයා පෙළබෙති. මෙහිදී කේන්දර දෙකේ ඇතුළත් වන පොරොන්දම් 27 ක් මූලිකවම එකිනෙකට ගැපලිය යුතුය. එම 27 අතුරින් රජු, තාලි, ග‍්‍රහ, ගණ, නැකත සහ රාසි යන ප‍්‍රධාන කරුණු 06 විශේෂයෙන් ගැළපේ නම් තරුණියක හා තරුණයකු අතර විවාහයක් සිදු කිරීම වඩාත් උචිත බව නක්ෂත‍්‍රකරුවා පවසා සිටියි.

විවාහ ගිවිස ගැනීමේ චාරිත‍්‍රය
කේන්දර ගැළපීමෙන් පසු නියත වශයෙන් ම තරුණිය සහ තරුණයා අතර විවාහය සිදුවනවාද යන්න තීරණය කිරීමේ චාරිත‍්‍රය නිච්චයථාර්ථම්චාරිත‍්‍රය වශයෙන් හඳුන්වයි.
මෙහිදී මනමාලයාගේ පාර්ශවයෙන් මනාලිය බැලීම සඳහා ඇගේ නිවසට යයි. එම ගමන සඳහා මනමාලයාගේ පාර්ශවයෙන් දෙමව්පියන් සහ විවාහ වී දරුවන් ලැබ සිටින ස්වාමියා ජීවතුන් අතර සිටින කාන්තාවන් තුන් දෙනෙක් හෝ පස් දෙනෙක් ද සහභාගී වෙති. මෙම කාන්තාවන් දෙමළ භාෂාවෙන් සුමංගල් පෙන්ගල්යනුවෙන් හඳුන්වයි. ප‍්‍රථමයෙන් මනමාලිය බැලීම සඳහා යන මෙම ගමනේ දී මනාලයාගේ පාර්ශවය විසින් මනාලියට තෑගි බෝග ත්‍මන්ම තාම්බුලම් තට්ටුවශයෙන් හඳුන්වන විශේෂ වට්ටියක් ද රැුගෙන යයි. එම තාම්බුලම් තට්ටුයන්නට තැමියක් මත තැබූ පොල්,කෙසෙල්,පුවක්,බුලත්,කහ,කුංකුම හා පළතුරු වර්ග කීපයක් ද දෙවියන් වැඳීම සඳහා ගෙන යනු ලබන ආකාරයේ මල් වර්ග වැනි දෑ අඩංගු වෙයි. එම ද්‍රව්‍යයන් සියල්ලක්ම 3,5,7,9 වැනි ඔත්තේ සංඛ්‍යාවක් සහිත වන ආකාරයෙන් ගෙනයාම හින්දු චාරිත‍්‍රයයි. ඉරට්ටේ සංඛ්‍යා අසුභ යයි ඔවුන් සැලකීම මෙයට හේතුවයි.
මෙයට අමතරව මනාලිය සඳහා අලූත් සාරියක්, වළලූ, මුදුවක්, මුණ බලන කණ්නාඩියක්, පනාවක් වැනි දෑද ගෙන යනු ලබයි. වත් පොහොසත් කමේ ප‍්‍රමාණය අනුව මෙම ද්‍රව්‍යවලත් තාම්බුලම් තට්ටු සංඛ්‍යාවේත් ප‍්‍රමාණය සහ වටිනාකම ද වෙනස් වේ. ප‍්‍රථමයෙන් මනාලිය බැලීමට යාමේ දී ඉවුම් පිහුම් කටයුතු සඳහා අවශ්‍ය වන කිසිදු දෙයක් මනාලයාගේ පාර්ශවයෙන් ගෙන යන්නේ නැත. එය මනාලියට සහ ඇගේ පාර්ශවයට කරනු ලබන අගෞරවයක් ලෙස ඔවුන් සලකයි.
විවාහය සඳහා මනාලියගේ පාර්ශවය කැමති නම් මනාලයා රැුගෙන ආ ආකාරයේම තාම්බුලම් තට්ටුවක් මනාලයාගේ පාර්ශවය පිටත්ව යාමට පෙර ලබාදේ. මෙම ගමන සඳහා බොහෝ අවස්ථාවන්හි දී මනමාලයා සහභාගී නොවන අතර ඒ වෙනුවට ඔහුගේ මල්ලී හෝ අයියා සහභාගී වෙයිxමෙදින විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වීම සඳහා දිනයක් නියම කරගනු ලබයි. මෙම චාරිත‍්‍රය පැවැත්වීමෙන් පසු   මනමාලයාත් මනමාලියත් දුර බැහැර ගමන්වල නොයෙදීම සිරිතකි. විවාහ දිනය වනතෙක් දෙදෙනාට දෙදෙනාව බැලීමට අවස්ථාවක් නොලැබේ.

ලක්ෂ්මි දේවියගේ පහන
විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වෙන දිනයේ සියලූ විවාහ චාරිත‍්‍රයන් ආරම්භ වන්නේ ලක්ෂ්මී දේවිය උදෙසා තබන මෙම පහන දැලිවීමෙන් අනතුරුවය. ධනවත් බවේත්, සෞභාග්‍යයේත් දේවතාවිය ලෙස හින්දූන් ලක්ෂ්මී දේවිය හට වැඳුම් පිඳුම් කරයි. යුග දිවියට පිවිසෙන නව යුවලගේ ජීවිතය ද සෞභාග්‍යයෙන් සහ වාසනාවන්තභාවයෙන් පිරී යා යුතුය යන්න හින්දූන්ගේ ප‍්‍රාර්ථනාවයි.
 හින්දූන් ඔවුන්ගේ විවාහයන් කෝවිලේ හෝ ඊටම යාබදව පිහිටි ශාලාවක සිදු කරයි.විවාහයසඳහා දේව ස්තෝත‍්‍ර ගායනයට අයියර්නමින් දෙමළ භාෂාවෙන් හඳුන්වන හින්දු පූජකවරයෙකු එදිනට එම උත්සවය සඳහා සහභාගී කරවා ගනී. විවාහ මංගල උත්සවය අවසානය වන තෙක් දේව මෙහෙය ඉටු කරනුයේ ඔහු විසිනි.

පැල සිටුවීමේ චාරිත‍්‍රය
කෘෂිකාර්මික අර්ථ ක‍්‍රමයක් පදනම් කොටගෙන ගොඩනැගුණු සංස්කෘතියක් වන නිසා හින්දු චාරිත‍්‍රයන්වලදී ගස් වැර්ගයන් සහ භෝගයන්ට විශේෂ ස්ථානයක් හිමි වේx මෙම චාරිත‍්‍රයට අනුව මනමාලයාගේ පාර්ශවයෙන් සහ මනමාලියගේ පාර්ශවයෙන් එකිනෙකාගේ නිවසේ මිදුල්වල පැලයක් රෝපණය කිරීම සිදු කරයි.
මේ සඳහා භාවිතා වන ශාක අතර එරබදු සහ කහ උණ බට වලට විශේෂත්වයක් ලබා දේ.  ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙමින් වැඞීම, කටු සහිත බව, ඉක්මණින් වඳ වී නොයාම වැනි සුවිශේෂතා මෙම ශාක වර්ග කෙරේ දැකිය හැකි වීම හේතුවෙන් හින්දූන් විසින් විවිධ අර්ථ කතනයන් එම චාරිත‍්‍රයට ලබා දී ඇත.
 ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ මෙම ශාක වැඩෙන්නාක් මෙන් නව සිවියකට එළඹෙන දෙදෙනාගේත් විවිහ ජීවිතය දුක් කම්කටොළු, සොම්නස් සියල්ල දරාගෙන ඉදිරියටම පවත්වාගෙන යා හැකා විය යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. කටු සහිත බව සහ උණ බටවල පිටත ඇති රළු බව නිසා බාහිරින් පැමිණෙන උවදුරු වලින් ශාකය ආරක්ෂා වන සේ බාහිර උවදුරු වලින් විවාහ දිවිය ද ආරක්ෂා විය යුතුය යන්නත් ගස වැඞී යන්නා සේ පරම්පරාව වර්ධනය විය යුතුය යන්නත් එම චාරිත‍්‍රය ඉටු කිරීමේ බලාපොරොත්තුවයි.  ගසේ අංකුර එන රටාව අනුව ප‍්‍රථමයෙන් ලැබෙන දරුවා දුවෙක් ද පුතෙක් ද යන්න තීරණය කළ හැකි බව ඇතැම් දෙනෙකුගේ අදහස විය.
කාලයත් සමඟ මෙම චාරිත‍්‍රය විකාශනය වී අද නවතාවයකින් යුතුව ද සිදු කෙරේ. ඉඩකඩ සීමා වීම, නාගරික වශයෙන් ඉහත ශාක සොයා ගැනීමේ අපහසුතාවය වැනි හේතු මත මෙම චාරිත‍්‍රය විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයේදීම සිදු කෙරේ.  ”පස් පිරවූ යම් භාජනයක මනාලයාත් මනාලියත් ඔවුන් දෙදෙනාගේ පාර්වශවයේ සිටින සුමජගලි පෙංගල් ලෙස හඳුන්වන කාන්තාවගේ ද සහය ඇතිව පැලයේ අත්තක් එහි රෝපණය කිරීම සිදු කරයි. ඉන්පසු ඒ වටා පට්ටුනමින් හින්දූන් හඳුන්වන රෙදි කඩක් ඔතනු ලබයි. පවුල් දිවියේ චිරස්ථිතිය සහ සුරක්ෂිතභාවය අපේක්ෂාවෙන් මෙම චාර්ත‍්‍රය හින්දූන් විසින් ඉටු කරනු ලබයි.

තාලිය
විවාහ දිනයේදී මනාලයා විසින් මනාලියගේ ගෙලේ පළඳවන තැල්ල තාලියලෙස හඳුන්වයි. එය කාන්තාවකගේ සස්වාමික භාවය පෙන්වන සංකේතයයි. සැමියා මිය යාමෙන් පසු සැමියාගේ පවුලේ ඥාතියෙක් හෝ කරණවෑමි සේවයේ නියුතු අයෙක් හෝ එය ගලවා ඉවත් කර දමන තුරු හින්දු කාන්තාවගේ ආත්මය වන්නේ තාලියයි.
තාලියේ හැඩය එකම සිවරූපයකින් නොපවති. කුලය සහ ගෝත‍්‍රය අනුව එහි හැඩය තීරණය වේ. සමහර දෙනෙක් කිසිදු සංකේතයක් හෝ රූපයක් නොමැති රත්තරනින් තැනූ කුඩා පැතලි රවුම් හැඩැති ආභරණයක් ලෙස තාලාය සාදවයි. ඇතැම් කෙනෙක් කොටි දතක් ඒ සඳහා භාවිත කරන අතර තවත් සමහර දෙනෙක් රන්කරුවා විසින් කිසිදු හැඩයකට නොසිටින සේ තලන ලද රත්තරන් ආභරණයක් පළඳියි. තාලිය දකුණු ඉන්දියාවට අයත් සංකේතයකි
තාලියදකුණු ඉන්දියාවට අයත් සංකේතයකි.
 තාලිය විවාහය සහ විවාහක කාන්තාවක් සම්බන්ධයෙන් භාවිතයට ගැනෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති අනුමානවලින් හා කතිකාවත්වලින් අඩුවක් නැත. කෙසේ වුවද තාලිය යන වචනය ක‍්‍රිxව පළමුවන ශතවර්ශයේ බිහි වූ සංගම් සාහිත්‍යයේ සඳහන් කර තිබේ. දඩයමේ යෙදුන පුරුෂයන් සිය වීරපරාක‍්‍රමය හා නිර්භීතභාවය පෙන්වීම සඳහා කොටි  දතක් පැළඳි අතර ළමයින් ආරක්ෂාව සඳහා පැළඳි තාලියක් තිබී ඇත. සංගම් සාහිත්‍යයේ කිසිදු තැනක නිශ්චිත වශයෙන් විවාහය සම්බන්ධ තාලියක් පිළිබඳව සඳහන් වන්නේ නැත. එහෙත් කාන්තාවන් විසින් ගලවා ඉවත් නොකළ යුතු උදාර ස්වාමි පුරුෂයකුට තෑග්ගක් වශයෙන් කිසිවෙකුට ලබාදිය නොහැකි ආභරණයක් ගැන සඳහන් වෙයි. නූතනයේ භාවිත වන තාලිය ලෙස හඳුන්වන ආභරණය සංගම් සාහිත්‍යයේ එන, ගලවා ඉවත් කළ නොහැකි, පුරුෂයා සංකේතවත් කරන සහ ආරක්ෂක යන්ත‍්‍රයක් සේ ක‍්‍රියා කරන ආභරණය තුළින් පැවතගෙන එන්නක් බව සඳහන් කළ හැකිය.
තාලිය සඳහා ඈත අතීතයේ කොටි දතක් භාවිත කළ අතර වර්තමානයේ රත්තරං භාවිත කරනු ලබයි. වත් පොහොසත්කම අනුව තාලියේ ප‍්‍රමාණය ද වෙනස් වෙයි. තාලිය සඳහා රත්තරං මිලදී ගැනීමට නොහැකි ජනයා ඒ වෙනුවට කහ කැබැල්ලක් භාවිතයට ගනු ලබයි. තාලිය අමුණන්නේ කහ පැහැති තරමක් ඝනකම ඇති සේද නූලකටයිx කහ වර්ණය හින්දූන් විසින් මංගල්‍ය වූ වර්ණයක් ලෙස සලකයි. නූතනයේ සමාජ විපර්යාසයන් සමඟ එම සේද නූල රත්තරං මාලයකට පරිවර්තනය වී තිබේx තාලිය තරුණියගේ ගෙලේ පළදන අවස්ථාවේ දී එයට ගැට තුනක් මනාලයා විසින් යොදනු ලබයි. එය දෙමළ භාෂාවෙන් මූණමුඩිච්චිලෙස හඳුන්වයි. එම ගැට තුන යෙදීමේ අර්ථ 03ක් දක්වා ඇත.
01. අපි දෙදෙනා අපි දෙදෙනාගේ දෙමව්පියන්ගේ ගෞරවය රැුකීමට පොරොන්දු වෙමු.
02. අපි එකිනෙකාගේ නැන්දම්මාවරුන්ගේ ගෞරවය රකින්නට පොරොන්දු වෙමු.
03. අපි දෙදෙනා අපි දෙදෙනාගේ පවුල රකින්නට පොරොන්දු වෙමු.

තාලිය සෑදීමේ චාරිත‍්‍රය
සුබ නැකතකට අනුව තාලිව සෑදීම සඳහා රන්කරුවෙකුට භාර කිරීම ද හින්දූන් චාරිත‍්‍රයක් ලෙස සිදු කරයි. මෙතෙක් කිසිදු ආභරණයක් සෑදීම සඳහා භාවිත නොකළ රන් කාසියක් තාලිය සෑදීමට භවිත කරයි. මෙය මනමාලයාගේ නිවසේ දී හෝ තට්ටාර් නැතහොත් අසාරි නමින් හින්දූන් හඳුන්වන රන්කරුවාගේ වැඩපොලේදී සිදුවේ. මනාලියගේ මව හෝ පියා හෝ වෙනත් වැඩිමහල් ඥාතීන් කීප දෙනෙක් ඉදිරියේ මෙම චාරිත‍්‍රය ඉටු කළ යුතුය.
තාලිය සෑදීම සඳහා ගන්නා රත්තරන් පිරිසිදු ඒවා බව මනාලියගේ පාර්ශවයේ ඥාතීන් ඉදිරියේ ඔප්පු කර පෙන්වීම මෙහි අරමුණයි. ඒ අනුව රන්කරුවා විසින් සියලූ දෙනා ඉදිරියේ රන්කාසිය උණු කරවා වතුරට දමයි. සුළු මොහොතකින් එය නැවත පිටතට රැුගෙන තුන් සැරයක් එයට මිටියකින් තලයි. ඉතා හොඳ වර්ගයේ රත්තරන් නම් ඉරි තැලීම් හෝ පුපුරායාම් කිසිවකුත් සිදු නොවේ.
මෙම සහතික කිරීමෙන් පසුව තාලිය සෑදීමේ කාර්යය පැවැත්වෙන දිනයේ උදෑසන මනාලයා සහ සුමංගි පෙන්ගල් ලෙස හඳුන්වන කාන්තාවන් තිදෙනෙක් හෝ පස් දෙනෙක් මනාලයාගේ ඥාතීනුත් සමඟ ගොස් රන්කරුවාගෙන් එය රැුගෙන කෝවිලට ගෙන යයි. රන්කරුවාට තාලිය සෑදීම වෙනුවෙන් ඇඳුම් පැළඳුම්,හාල්,පොල් වැනි ආහාර ද්‍රව්‍ය පළතුරු හා නොයෙක් කෑම වර්ග ආදිය සහිත බන්දේසියක් ලබා දෙයි. තාලිය රැුගෙන එන්නේ ද සුබ නැකතක් බැලීමෙන් අනතුරුවය. 
ජීවිතයේ එක් වතාවක් පමණක් කාන්තාවකට පැළඳීමට අවස්ථාව ලැබෙන සස්වාමික භාවයේත්, සිය ගෝත‍්‍රයේත් සංකේතය වන තාලිය සම්බන්ධයෙන් හින්දූන් තුළ ගොඩනැගී ඇති ආකල්පයන්, විශ්වාසයන් මෙම චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ගෙන් පැහැදිලි වේ.

තාලිය බැඳීම
හින්දු විවාහයේ උත්කර්ෂවත්ම අවස්ථාව වන්නේ මනමාලයා විසින් මනමාලියගේ ගෙලේ තාලිය පැළඳවීමේ  අවස්ථාවයි. මේ අවස්ථාවේ දී රාහු කාලය මගහැර සුබ වේලාවකට අනුව මහත් ශබ්ධයෙන් බෙර හා නලා වයන්නේ ඒ සුබ මොහොතේ කිිසිදු ආකාරයක අසුභ වචනයක් හෝ සාප කිරීමක් නව යුවලගේ දෙසවන් වලට නොඇසේවා යන අරමුණෙනි. කිහියම් සුභ කටයුත්තක් කිරීමට සූදානම් වීමේ දී හූවෙකු හැඞීම, කිවිසුමක් පිට කිරීම වැනි දෑ අසුභ දේ ලෙස සලකන ආකාරයෙන් ම හින්දූන් ද කටවහක්, සාපයක් නොඇසෙන සේ බෙරවාදනය හා නලා වාදනය සිදු කරයි. තාලිය බඳින අවස්ථාවේ දී නව යුවලට ආශීර්වාද කිරීම සඳහා පැමිණ සිටින අමුත්තන්ට  හාල්, කහ කුඩු සහ මල් වැනි දෙයක් ලබාදෙයිx සතුට හා ආශීර්වාදය මෙම අවස්ථාවේ ලැබේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි.
තාලිය පළඳින තෙක් මනමාලියත් මනමාලයාත කිසිදු ආහාරයක් නොගනී.විරදම්ලෙස දෙමළ භාෂාවෙන් හඳුන්වන මෙය දෙවිවරුන් සඳහා පුද පූජා පැවැත්වීමේ දී ද හින්දූන් විසින් අනුගමනය කරනු ලබන චාරිත‍්‍රයකි. තාලිය බැඳීමෙන් පසුව කිරි සමඟ මිශ‍්‍ර කළ ඉඳුණු කෙසෙල් හෝ පළතුරු වර්ග කීපයක් මනමාල යුවලට ආහාරය සඳහා දෙය. සතුටු දායක අවස්ථාවන් හීදී පැණි රස ආහාර වර්ගයක් ලබාදීම හින්දූන්ගේ තවත් චාරිත‍්‍රයකි.

නළලේ රතු තිලකය තැබීම
හින්දු කාන්තාවකගේ සස්වාමික භාවය සමාජය ඉදිරියේ පෙන්වා සිටින සංකේතයකි රතු කුංකුමවලින් තබන තිලකය. විවාහ දිනයේ දී ස්වාමි පුරුෂයා විසින් ඇහිබැම දෙක මැදත් නළන මුදුනේ මැදත් කුංකුුමවලින් මෙම තිලකය තබයි.
තාලිය පැළඳීමේ දී එය පපුවේ මැදක් පමණ වන සේ දිග තිබෙන කහ නූලකින එල්ලීම සිදු වන නිසා බොහෝ විට එයින් ගම්‍ය වන සස්වාමික බව පිටත සමාජයට නොපෙනේ. නිරන්තරයෙන් හෘද ස්පන්දනය සමඟ කාන්තාවකගේ  විවාහ ජීවිතය බද්ධ වී තිබෙන බව මෙයින් පැහැදිලි වේ. තාලිය සියල්ලන්ටම පෙනෙන ආකාරයෙන් ප‍්‍රදර්ශනය කිරීමක් ඔවුන් අතර සිදු නොවේ. මාර්තු මාසයේ 14 වැනි දින හෝ ඊට ආසන්න දිනයක කෝවිලේ දී පැවැත්වෙන තාලිය රඳවා සිටින කහ නූල මාරු කිරීමේ අවස්ථාවේ දී පවා එකිනෙකාගේ තාලි එකිනෙකාට නොපෙනෙන සේ අලූත් කහ පැහැති සේද නූලකට දමා එහි තිලක තබා ගැනීමෙන් ඔවුන් අතරම පවා තාලිය ප‍්‍රදර්ශනය කර ගැනීමක් ප‍්‍රසිද්ධියේ සිදු නොවේ.
මේ අනුව කුංකුම ලෙස හඳුන්වන රතු පැහැති ද්‍රව්‍යයෙන් විවාහ දිනයේ ස්වාමි පුරුෂයා විසින් තබන තිලකය මුළු සමාජයටම හින්දු කාන්තාවකගේ සස්වාමික භාවය ප‍්‍රදර්ශනය කරයි. එවැනි කාන්තාවකට ගරු කිරීම අතීතයේ සිට පැවත එන හින්දූන්ගේ චාරිත‍්‍රයකි.

ගිනි දෙවියන් ඉදිරියේ සාක්ෂි දීම
මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයේ තබන ලද ගිනි ගොඩක් වටා මනාලයා සහ මනාලිය තෙවරක් පැදකුණු කිරීමේ චාරිත‍්‍රය දෙමළ භාෂාවෙන් අග්නි සාක්ෂිලෙස හඳුන්වයි. මේ තුළින් කියැවෙනුයේ දිවි ඇති තෙක් සිය පති පත්නී භක්තිය ආරක්ෂා කර ගනිමින් සිටින බව ගිනි දෙවියන් සාක්ෂියක් කොට තබා ඥාතීන් ඉදිරියේ ඔප්පු කර පෙන්වීමයි.


කෝලම් දැමීම
මෙය මංගල උත්සවය පැවැත්වෙන නිවෙස්වල මිදුලේ සහ කෝවිලේ හෝ විවාහ උත්සවය පැවැත්වෙන ශාලාවේ බිම අලංකාර කිරීම සඳහා සිදු කරනු ලබන සැරසිල්ලකි. ගොම පිරිගෑ නිවසක මිදුලක් නම් එහි නැවත ගොම පිරිමැද සකස් කර ගැනීම සිදු කරන අතර සිමෙන්තියෙන් යුත් බිමක් නම් හොඳින් සේදා පිරිසිදු කරගනු ලබයි. විවාහ උත්සවය පැවැත්වෙන දින අළුයම අවදි වී සුමංගලි පෙන්ගල් යනුවෙන් හඳුන්වන සෞභාග්‍යමත් පවුල් ජීවිතයක් ගත කරන කාන්තාවක් විසින් මෙම කෝලම් දැමීම සිදු කරයි.
කෝලම් දැමීම සඳහා භාවිත කරනුයේ හොඳින් කොටා හලාගත් සුදු හාල් පිටිය. විවිධ වර්ණයේ මල් වැනි මෝස්තර සහිත පොතක් හෝ එවැනි දේ ඇඳීමේ මනා පළපුරුද්දත් ඇති අය විවිධ හැඩතල අනුව ගෙබිම අලංකාරවත් මෝස්තර වලින් සරසයි. සුදු හාල් පිටි මිටක් වන සේ අතට ගෙන අඳින්නට සූදානම් වන මෝස්තරයේ හැඩයට ඒවා ක‍්‍රමවත්ව මිදුලේ ඇතිරීම සිදු කරයි. මේ සඳහා හාල් පිටි යොදා ගැනෙන්නේ කූඹීන් වැනි පොළොවේ වෙසෙන කෘමි සතුන්ට ඒවා ආහාරයක් වේවාය යන ප‍්‍රාර්ථනාවෙනි.



කාන්තාවගේ කකුලේ මුදුවක් පැළඳීමේ චාරිත‍්‍රය
මෙය මින්චිදැමීම ලෙස හින්දූන් විසින් හඳුන්වයි. මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයේ තබා ඇති මිරිස් ගලක් මත මනාලියගේ කකුල තබා පාදයේ දෙවන ඇඟිල්ලට මුදුවක් පැළඳවීම මෙහිදී සිදුවේx මේවා සුදු යකඩ වලින් තැනූ කුඩා ප‍්‍රමාණයේ මුදුය. මනාලියගේ පාද දෙකටම මනමාලයා විසින් මෙම මුදු පළඳවනු ලබයි.
මිරිස් ගලක් මේ සඳහා යොදා ගන්නේ එපරිද්දෙන්ම ශක්තිමත් ලෙස මෙම බැඳීම පැවතිය යුතු බව සන්නිවේදනය කිරීම සඳහාය. දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් දෙදෙනා කෙරේම විශ්වාසයෙන් හා ශක්තියෙන් රැදී සිටින බවත් වෙන අයෙක් කිසි ලෙසකින් නොපතන බවත් කුමන බාධක පැමිණියත් නොදිරා යන ගලක් සේ ස්ථීරව සිටින බවත් තහවුරු කිරීම සඳහා මෙම චාරිත‍්‍රය ඉටු කරයි.
අතීතයේ මෙම මින්චි දැමීමේ චාරිත‍්‍රය පවත්වාගෙන ඇවිත් තිබෙනුයේ පුරුෂ පක්ෂය විසිනි. එකල තරුණියකට තරුණයෙකු සමඟ අද මෙන් විවෘතව කතාබහ කිරීමට සමාජය විසින් ඉඩ ප‍්‍රස්ථාවන් ලබා දී නොමැත. තරුණියක් නම් බිම බලාගෙන ගමන් කළ යුතුව තිබුණි. මේ අනුව තරුණියකට පළමුවෙන් පෙනෙන්නේ ඉදිරියට එන පුද්ගලයාගේ පාදයි. එම පාදයන් වල මුදු පැළඳ තිබේ නම් ඔහු විවාහක පුරුෂයෙකි. ඔහු දෙස බැලීම පවා සමාජය විසින් තහනම් කළ චාරිත‍්‍රයක් බිඳ දමන ක‍්‍රියාවක් වුණි. එසේම හිස බිමට නැඹුරු කර ගත් තරුණියක් ඉදිරියට එන්නේ නම් ඇගේ නළලේ තිබෙන කුංකුම තිලකයෙන් ඇගේ සස්වාමික භාවය හඳුනාගත හැකිය. ඇය රතු තිලකයක් තබා ඇත්නම් මාතෘ පදවියට හිමිකම් කියන ඇයට සමාජය විසින් ගරු කළ යුතු බව සිතය යුතුය.
මේ ආකාරයට හින්දූන් විසින් තබන තිලකයේ පටන් සෑම සංකේතයක් ම ඉටු කරන සෑම චාරිත‍්‍රයක් ම සමාජ සම්බන්ධතා ක‍්‍රමවත් කිරීම සහ ආරක්ෂා කිරීම අභිප‍්‍රාය කොටගෙන නිර්මාණය වූ චාරිත‍්‍රයන් ය.

ගොක් කොළ එල්ලීම
අලංකාර පිණිසත් විවාහයක් වැනි උත්සවයක් හෝ කිසියම් සුවිශේෂත්වයක් තිබෙන බව පිටත සමාජයට දැනුම් දීමටත් ගොක් කොළ එල්ලයි. විවාහය සේම හින්දූන් මරණයේ දී ද මෙම ගොක් කොළ එල්ලීම කරන අතර එල්ලන ස්වරූපය අනුව එය මරණයක් සඳහා ද විවාහයක් සඳහා ද යන්න වටහාගත හැකිය.

අඹ කොළ එල්ලීම
අඹ කොළ එල්ලීම සිදු කරන්නේ විවාහයේ දී හෝ එවැනි සුභ මංගල්‍යය වූ කටයුත්තකදී පමණි. අඹ කොළයේ නටුව කොළය ඉදිරිපසින් ගෙන පිටුපසට සවි වන ආකාරයෙන් තබා ඒවා නූලක හෝ කම්බියක රඳවා නිවසේ ඉදිරිපස දොර උළුවස්සේ එපල්ලා තබයි.

කෙසෙල් ගස් සිටුවීම
කෙසෙල් මල සහිත ඉදුණු කෙසෙල් කැනකින් යුත් කෙසෙල් ගස් සිටුවීම මෙයින් අදහස් කෙරේ. කහ වර්ණය සෞභාග්‍යයේ සුභ මංගල්‍යයේ වර්ණය බව හින්දූන්ගේ විශ්වාසය වන අතර විවාහ මංගල්‍යයකදී පූර්ණ කෙසෙල් ගසක් සිටුවීමෙන් සෞභාග්‍යයත් විවාහයෙන් පසු දරුවන් ලැබ පවුලක් වශයෙන් සිටිම අපේක්ෂා කරන අරමුණු අතර වේ.මනමේඩෙයිලෙස හඳුන්වන පෝරුව වැනි මණ්ඩපය දෙපසත් විවාහ මංගල්‍යයන් සිදු කරන නිවෙස්වල ඉදිරිපසත් කැන සහිත කෙසෙල් ගල් සිටුවීමෙන් එම නිවසේ විවාහයක් පැවැත්වෙන බව අන්‍යයන් දැන ගනී.

කුම්බම් සැරසිල්ල
මෙය ගණ දෙවියන් සඳහා කරන සැරසිල්ලකි. ගණ දෙවියන් සියලූ සුබ කටයුතු වලදී මග පෙන්වන දෙවියන් බව හිනදූන් ගේ විශ්වාසයයි. හින්දු ජනතාව ජීවත් වන ප‍්‍රදේශවල මාර්ගයන් අයිනේ පළින් පළ ගණ දෙවියන්ගේ රූප තබා තිබෙනු දැකිය හැකි වන්නේ එම හේතුව නිසාය.
කුම්බිලි සැරසිල්ල සඳහා භාවිතයට ගන්නා ද්‍රව්‍යයන් කිහිපයක් තිබේ.
01. කැකුළු හාල් හෝ වී
02. ළපටි කෙසෙල් දල්ලක්
03. බන්දේසියක්
04. සෙම්බුවක්
05. ජලය
06. නූලක්
07. කාසියක්
08. අඹ කොළ පහක් හෝ හතක්
09. මුඞ්ඩ සහිත පොල් ගෙඩියක්
10. මල් වර්ග සහ පොට්ටු
ඵීවාහ මංගල උත්සවය අවසන් වීමෙන් පසු මෙම කුම්බම් සැරසිල්ල නව යුවල පදිංචි වන නිවසේ වැඳුම් පිඳුම් කරන දෙවියන් ඉදිරියේ තබා තිබෙන අතර එයට ගනු ලැබූ හාල් පොල් වැනි ද්‍රව්‍ය කෝවිලේ දෙවියන් උදෙසා පැවැත්වෙන යම් පූජාමය කටයුත්තක දී පොංගල් ඉවීම සඳහා භාවිතයට ගනු ලබයි.

ආලති
මංගල උත්සවය සඳහා පැමිණෙන මනාලයා සහ මනාලිය උත්සවය පැවැත්වෙන ස්ථානයේ දී පිළිගනු ලබන කුඩා පහනක් සහිත තැටිය මේ නමින් හඳුන්වයිx ඔවුන් දෙදෙනා හට තිබෙන ඇසවහ කටවහ දෝෂයන් ඉවත් කිරීම මෙහි අරමුණයි. කපුරු කහ බුලත් ආදී දේ ආලතී තැටියේ තබා ඇත. තෙවරක් බැගින් මේ දුම ඇල්ලීම සිදු කරනුයේ සුමංගලී පෙන්ගල්ලෙස හඳුන්වන කාන්තාවන් විසිනි.
මෙහි සඳහන් ආකාරයට දැල්වෙන පහන් තිර මත කෙසෙල් පෙති තුනක් ද තබන්නේ යයි පවසයි. යම් යම් ප‍්‍රදේශ අනුව මෙම ව්‍යවහාරයන් වෙනස් වනු දැකිය හැක.


5 Comments

  1. නියමයි දිනූ.

    ReplyDelete
  2. ගොඩක් ප්‍රයෝජනවත්❤

    ReplyDelete
  3. do you have any doucumentary or books about tamil, hindhu religion in sinhela language .
    if you please .Thank you

    ReplyDelete

Post a Comment

Post a Comment

Previous Post Next Post