වැදි ජනයාගේ සන්නිවේදනය

වැදි ජනයා අපේ රටේ පුරවැසියන්ය. නවීන සමාජයෙන් ඈත්වී සිටීම නිසා මොවුහු නවීකරණයට හසුනොවීය. නව ලෝකය හා ශීග්‍රාකාර මානව දියුණුව ගැන ඔවුනට ඇත්තේ ඉතා සුළු මතකයන් රැසකි. ඔවුන්ගේ ජීවිතය වනයයි. බලාපොරොත්තුව වනයයි. ජාතික සංවර්ධන වැඩසටහන් නිසා අහිමි වී යන වනය ඔවුනගේ ස්වාධීන දිවි පෙවෙතට එල්ල කළ ප්‍රබල තර්ජනයකි.
අප්‍රිකානු කීනියා මානවයාට සම්බන්ධකම් දක්වන ඉන්දීය මානව ප්‍රභවයේ විකාශනයේ ප්‍රතිඵලයක් වූ ජන කොටස්වල සංක්‍රමණයෙන් ලාංකික වැද්දන් ඇති වූ බව වියතුන් පිළිගන්නා මතයකි. වැද්දන් අභිමානයෙන් නිතර පවසන්නේ ඔවුන් කුවේණියගේ දරුවන් බවයි. විජයටත් වඩා කුවේණියට මොවුන් දක්වන ප්‍රමුඛත්වය තුළින් වැද්දන් මාතෘ මූලික සමාජයක් හා සැසදෙන්නේ ද යන අදහස පැන නගී. තමන් රාජකීය රුධිරයට හිමිකම් කියන්නන් බවත් රටේ නියම උරුමය තමන් සතු බවත් ඔවුන් පවසන්නේ ආඩම්බරයෙනි.
ආචාර්ය සෙලිග්මාන් රුධිර පරීක්ෂණවලින් උඩරට රදළ ජනයා හා වැදි ජනයාගේ රුධිර ඒකක සංයුතිවල සමානකමක් තිබෙන බව ඔප්පු කොට තිබේ. දැඩි සමාජ නීති රීති නිසා වෙනත් ජන කොටස් හා මිශ්‍රෙනාවී වැද්දන් වනාන්තරවලම ජීවත් වූ බව ඉන් හෙළිවේ. එසේම ශ්‍රී ලංකාවේ මුල් මානවයන් සමග මොවුන් සම්බන්ධකම් පැවැත්වූ බවට මෙය ප්‍රබල සාධකයකි.
ශ්‍රී ලංකාවේ වැද්දන් ගැන තොරතුරු දැන ගැනීමේ දී ඔවුන්ගේ ජීවන චරිතය හා සම්බන්ධ පුරාණ කතා වැදගත් වේ. ඔවුනටම ආවේණික වූ ගීත හා නැටුම් වැදි ජනයා අතර පවතී. මොවුනට ලිඛිත සාහිත්‍යයක් නැත. කට පාඩමින් ගෙන එන කවි ගී හා කතාන්දර මොවුන්ගේ ජීවන තොරතුරු හෙළි කරයි. මොවුන්ගේ ශබ්ධ කෝෂය අතිශයින් සියුම් එකකි. නූතනය වන විට ඔවුන්ගේ වචන මාලා ඔවුන් අතරින් නැතීවී යන බව පෙනේ. එදා කැලෑවේ ජීවත් වූ ඔවුන්ගේ ප්‍රබල සන්නිවේදන මෙවලමක් වූ භාෂාව නැතිවී යාමට බලපා ඇත්තේ ඔවුන් සිංහල කතා කිරීමට පුරුදු වීමයි.
පාරම්පරික ක්‍රමය රැක ගනිමින් වනය තුළම ගෙවන ජීවිතය අප්‍රිය කරන මොවුන්ගේ නව පරම්පරාව ජංගම පෞර්ෂයකින් යුතුවූවෝ වෙති. වෙනස් වීමට අතිශයින් කැමැත්තක් දැක්වූ ඔවුහු ඒ සඳහා විවිධ ක්‍රම භාවිත කරති. වැද්දන් වෙනදා මෙන් අද ගස් නැග මී කඩා හෝ දඩයමෙන් ජීවක් වන කොටසක් නොවෙති. ඔහුන් ගොවිතැන් ක්‍රමවලට ක්‍රමයෙන් හුරු වෙමින් සිටිති. ස්වාධීන ජීවන කුමයෙන් ඈත් වී නව ක්‍රම ඉක්මණින් වැළඳ ගැනීමට වැඩිහිටි පරපුර දක්වන්නේ මැළි කමකි. මහා මාධ්‍යවල ග්‍රහණයට සෘජුව හසුනොවන වැදි ජනතාව තොරතුරු ලබාගන්නා ප්‍රධානමාධ්‍යයකි ජනමත ප්‍රධානීන්. ආචීර්ණ කල්පික නායකත්වයේ වැදගත්කම අඩුවීමට මෙම සාධකය බලපා ඇති අතර ඔවුන් එම නායකත්වයෙන් ඉවත් වීමට යත්න දරන බවද පෙනේ.
පළමුවෙනි පැරකුම්බා රජුලේ සේනාවේ වැද්දන්ගේ බල ඇණියක් සිටි බවත් ඔවුන් තමන්ට ආවේණික වූ සටන් ක්‍රමවලින් සටන් කළ බවත් ඉතිහාස වාර්තාවලින් පැහැදිලිය. දුම්බර කඳුවැටිය ආශ්‍රිතව විසූ වැදි ජනයාට මහවැලි ගඟ හරහා බැම්මක් බැඳීමට ධාතුසේන රජතුමා ආරාධනා කළ බවක් ද සදහන් වේ. එදා වැදි ජනයා සංඛ්‍යාව අතින් විශාල වූ බව මෙම නිදසුන්වලින් පැහැදිලිය. ආර්ථික හා දේශපාලනමය කටයුතුවලට මෙසේ සම්බන්ධ වූ ඔවුන් තුළ ක්‍රමික සන්නිවේදන ක්‍රමයක් පැවති බව ඉන් පැහැදිලි වේ.
වැදි ජනයාගේ වැදගත් පුද්ගලයෙකි නායකයා. ඔවුන්ගේ ආර්ථිකයේ හා ජීවිතයේ වැදගත් ස්ථානයකි වනය. ඔවුනගේ විවිධ සන්නිවේදන ක්‍රම අතරින් නායකයාට අදාළ වූ ඒවා එනම් වනය තුළ අදහස් හුවමාරු කර ගන්නා ක්‍රම ගැන පමණක් මෙහිදී කරුණු ඉදිරිපත් කෙරේ.
ලැට මඟින් පණිවිඩ යැවීම වැදි සමාජයේ පැවති ලක්ෂණයකි. ගැට ගැසීම පිළිබඳ බලය ඇත්තේ නායකයාට පමණය. වැදිනායකයා පවසනුයේ “ගැට පොජ්ජෙන් කථා දමන්නේ හූරා නායක ඇත්තන්ගේ බල පොජ්ජ්‍ යනුවෙනි. නායකයා වැදි මිනිසෙකුට එක ගැටයක් ගසා යවයි නම් එය ලැබුණු පසු ඔහු පැමිණිය යුතුය. ඔහු විසින් කරන ලද වරදක් ගැන සොයා බැලීමට තිබෙන බව එහි අදහසයි. ළඟ ළඟ ගැට දෙකක් ගසා ඇත්නම් ඉක්මණින් පැමිණිය යුතුය. නොපැමිණිම දඬුවම් ලැබිය හැකි වරදකි. ළඟළඟම ගසා තිබෙන ගැට තුනකින් පැහැදිලි වන්නේ අවශ්‍යතාවය අතිශය වැදගත් බවය. අනිවාර්යෙන්ම පැමිණිය යුතුය. නොපැමිණිම දඬුවම් ලැබීමට හේතු වන්නකි. එකම වැලක ඈතින් ගසන ගැට දෙකකින් කියවෙන්නේ සාකච්ඡා කර ගැනීමට කාරණයක් ඇති බැවින් ඉඩ තිබෙන වේලාවක පැමිණිය යුතුය යන්නයි.
කැලෑවේ දී හමුවන වැල් වර්ග, ලනු පොටවල්, කෙස් වැනි දෑ මෙම ගැට ගැසීම සඳහා උපයෝලී කර ගැනේ. අඩවියේ සීමා වෙන් කිරීඹ සදහා ගස්වල කට්ට කැපීම කරන්නේ නායකයාගේ නියමය පරිදිය. එසේ වෙන්කර ඇති සීමාවකට ඇතුළු වීමට අදාළ අවසරය නායකයාගෙන් ලද යුතුය. එවන් ලකුණක් මීයක්, බමරයක් ඇති ලසක, ගලක, සටහන් කොට තිබේ නම් එය කිසිවෙතකුට කැඩිය නොහැකිය. එනම් එය නායකයා සඳහා වෙන්කර තිබෙන්නකි.
අතු කඩාදමා කැලෑවේ ගමන් යෑම ආදිවාසීන් යොදාගත් ක්‍රමයකි. ශ්‍රී ලංකාවේ වැදි ජනයා ද පසුපසින් එන අයට තමන් ගිය බව දැනවීම සඳහා අතු කඩා දැමීම කරති. මෙහිදී අත්ත් බිඳුනු පැත්තෙන් ගමන ගිය දිසාව හැඟවෙන අතර අතු ප්‍රමාණයෙන් ගමන්ගත් සංඛ්‍යාව හැඟවේ. මෙලෙස කඩා දමන ලද අතු කැබැල්ලක් අසල කකුලෙන් ඉරක් ඇද තිබේ නම් එයින් කියවෙන්නේ නායකයා එම දෙසට ගමන් කළ බවයි. ගස්වල තිබියදීම අතු නවාගෙන ගමන්ගත් දිසාව දැක්වීම නායකයාට පමණක් ආවේණික වූ ලක්ෂණයකි. එම අත්ත ගමන්ගත් මඟ හරහා නමා තිබේ නම් එම මඟ ඔස්සේ නොයන ලෙස නායකයා කරන ලද නියෝගයක් ඉන් හැගවේ. කඩා දමන ලද අත්තක් මත ගලක් තබා ගොස් තිබේ නම් ඉන් අදහස් කෙරෙන්නේ ඒ දෙසට පැමිණීමේ අවශ්‍යතාවයක් නැති බවත් තමන් එම ගමන ගිය බවත්ය.

වනය තුඝදී යොදා ගන්නා තවත් සන්නිවේදන ක්‍රමයකි, ගස්වලට තට්ටු කිරීම. විශේෂයෙන් ම බෙණ සහිත ලස් මෙහිදී වැදගත් වේ. එම තට්ටු කිරීම බොහෝ විට කෙරෙනුයේ ඔහුගේ කුඩා පොරවෙනි. සමාන කාල ඒකකයක් අතර එක් වරක් තට්ටු කිරීමෙන් තමන් නිරුපද්‍රිව සිටින බව හඟවයි. දෙවරක් තට්ටු කිරීමෙන් හඟවන්නේ පැමිණිය යුතු බවකි. තුන්වර බැගින් වේගයෙන් තට්ටු කරයි නම් එහි අදහස වන්නේ හදිසි අවශ්‍යතාවයකට මුහුණ පා ඇති බවත් ආධාර අවශ්‍ය වන බවත්ය. 

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post