ප්‍රචාරණය මුළාවක් ද ?

අද ලොව වෙළඳ දැන්වීමකින් තොර ව මුදල් ඉපයිය හැක්කේ සල්ලි අච්චු ගසන සමාගම්වලට පමණි’ යැයි බටහිර කියමනක් පවතී. එහෙත් දැන් සල්ලි අච්ච ගසන සමාගම්වලටත් දැන්වීම් උපයෝගී කර ගැනීමට සිදුව ඇති බව පෙනේ. ‘හඳුනාගත් අනුග‍්‍රාහකත්වයක් මඟින් කිසියම් පිරිවැයක් දරා අදහස්, භාණ්ඩ හා සේවා පිළිබඳ ඉදිරිපත් කිරීමක් හෝ ප‍්‍රවර්ධනය කිරීමක් ප‍්‍රචාරණය ලෙස හැඳින්වෙයි.’ ප‍්‍රචාරණ දැන්වීමක් යනු කිසියම් පණිවුඩයකි. ප‍්‍රචාරණය වනාහි, අදාළ වෙළඳපළ වෙත අඛණ්ඩ ව පණිවුඩය ගෙන යන ක‍්‍රියාවලියක් ලෙස දැක්විය හැකිය.
ප‍්‍රචාරණ දැන්වීම් අප ආක‍්‍රමණය කර හමාරය. ඉදින් අපට එයින් ගැලවී ගත නොහැකිය. ප‍්‍රචාරණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන ගණනින් වැය කරන සමාගම් එම වියදම නිෂ්පාදිතවල මිලට එකතු කිරීම නිසා එම නිෂ්පාදිතවල මිල ඉහළ යයි. එක් ප‍්‍රචාරණ දැන්වීමකට පමණක් මිනිස් හැඟීම් වෙනස් කිරීමේ බලයක් නොමැති වුවත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් සඟරා සහ බාහිර ප‍්‍රචාරණ මාධ්‍ය ඔස්සේ නොනත්වා කරන ප‍්‍රචාරණයන් මඟින් මිනිස් හැඟීම් වෙනස් කර තම නිෂ්පාදනය වෙතට ඔවුන් ආකර්ෂණය කර ගත හැකිය. පහසුවෙන් හැඟීම් වෙනස් කළ හැකි යොවුන් වියේ පසුවන්නන්, නූගත් ජනතාව සහ මහළු වියෙහි අය වෙතට මෙයින් සිදුවන බලපෑම් විශාලය. බහුජාතික සිසිල් බීම  සමාගම් වැනි ආයතන තම නිෂ්පාදන සඳහා තරුණ පෙළ ග‍්‍රහණය කර බැඳ තබා ගැනීමට මහා පරිමාණ ප‍්‍රචාරණ උපක‍්‍රම ක‍්‍රියාත්මක කරයි. සමහර භාණ්ඩවලට අධික සුපිරි බවක් ආරූඪ කර මිල ඉහළ මට්ටමක රඳවා ගැනීමට ප‍්‍රචාරණය උපයෝගී කර ගන්නා බව නොරහසකි.

ප‍්‍රචාරණය මඟින් භාණ්ඩයේ හෝ සේවාවේ අන්තර්ගතය පිළිබ`ද බොරු තොරතුරු ඉදිරිපත් කිරීම බහුලව දක්නට ලැබේ. අප රටේ නීතිවලට එතරම් යටත් නොවන, වැඩිම නිදහසක් පවතින ක්ෂේත‍්‍රය වශයෙන් වෙළඳ දැන්වීම් සඳහන් කළ හැකිය. මේ නිසා මාධ්‍යවල ව්‍යාජ දැන්වීම් පළ කර ජනතාව මුළා කර මුදල් ගරා ගන්නා ආයතන ගැන බොහෝ විට අසන්නට ලැබේ. ප‍්‍රචාරණය තුළින් මිනිසුන් තුළ අනවශ්‍ය අවශ්‍යතා ඇති කොට ඔවුන් නොනවතින තරගයකට යොමු කරවයි. ගෘහණියකට රෙදි සෝදන මැෂිමක් අත්‍යවශ්‍ය බවට හැඟීමක් ජනිත කළේ ද ක්ෂුද්‍ර තරංග උඳුනක අවශ්‍යතාවය නිර්මාණය කළේද ප‍්‍රචාරණය මඟිනි. පැතලි තිර රූපවාහිනියෙන් හොඳම ආස්වාදයක් ලැබිය හැකි බව සඳහන් කළ නිෂ්පාදකයාම ඊට පසු LCD රූපවාහිනියෙන් හොඳම වින්දනයක් ලබාගත හැකි බව පවසයි. ඒ අනුව මෙලෙස මිනිසුන් නොමඟ යවන ප‍්‍රචාරණයට රැුවටී අනවශ්‍ය භාණ්ඩ ගොඩ ගසා නොගැනීමට තරම් පාරිභෝගිකයා බුද්ධිමත් විය යුතුය.

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post