පංචතන්ත්‍රයේ මිත්‍රභේදයේ චරිත තුළින් නිරූපණය වන නූතන දේශපාලනඥයාගේ ස්වරූපය

භාරතීයන්ගේ සාහිත්‍යය වනාහි එරට වැසියන්ගේ සභ්‍යත්වය මෙන්ම ආධ්‍යාත්මික වර්ධනය පිළිබිඹු කෙරෙන ප්‍රකාශන සමූහයකි. සංස්කෘත උපදේශ සාහිත්‍යය, වර්තමාන සමාජයේ බොහෝ අඬු ලුහුඬුකම් මඟ හරවාගෙන සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය නොඅඩුව සපයයි. ඒ ගණයෙහිලා සැලකෙන පංචතන්ත්‍රය දඹදිව මහිලාරෝප්‍ය නගරයේ අමරශක්ති රජුගේ බහුශක්ති, උග්‍රශක්ති, අනන්තශක්ති නම් පුතුන් තිදෙනාට නීති ශාස්ත්‍රය ඉගැන්වීම සඳහා විශ්ණුශර්මන් නම් පඬිවරයෙකු විසින් රචිත උසස් ග්‍රන්ථයකි. මිත්‍රෙභ්දය, මිත්‍රසම්ප්‍රාප්තිය, කාකොලුකීය, ලබ්ධප්‍රණාශය, අපරික්ෂිතකාරකය යන තන්ත්‍ර පංචකය අතරින් මිත්‍රභේදය නම් තන්ත්‍රයේ එන චරිත තුළින් නූතන දේශපාලනඥයාගේ ස්වරූපය  මනාව නිරූපණය වේ.
මිත්‍රභේදයේ ප්‍රධාන චරිත හතරකි. එනම් පිංගලක, දමනක, කරටක හා සංජීවක ය. මිත්‍රභේදයේ පිංගලක චරිතය තුළින් නිරූපණය වන ප්‍රධාන චරිත ලක්ෂණයක් වන්නේ ආත්ම විශ්වාසයෙන් තොර වීමයි. පිංගලක යනු සිංහයෙකි. ඔහු කැලේ රජුය. වනයේ වෙසෙන සියළු සත්වයන්ගේ නායකයා වන ඔහු එක් අවස්ථාවක වෘෂභයෙකුගේ හඬට බියපත් වී සිය පිරිවර සමඟින් වනයෙන් පලා යාමට අදිටන් කර ගනී. වනයේ රජු වුවද අනපේක්ෂිත අවස්ථාවකට මුහුණ දීමට ඔහුට ආත්ම විශ්වාසයක් තොමැත.
පිංගලක චරිතය තුළින් නිරූපණය වන තවත් චරිත ලක්ෂණයක් වන්නේ නුසුදුස්සන්ගෙන් උපදෙස් ලබා ගැනීමයි. පිංගලක වනයෙන් පිටවීමට තීරණය කළත් වනයේ සිටි දමනක නම් එක් හිවලෙකුගේ යෝජනාවක් අනුව එම වෘෂභයා පිළිබඳ කරුණු දැනගැනීමට හා වෘෂභයා සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට තීරණය කරයි. ඔහු එම කටයුත්ත දමනකගෙන් උපදෙස් පතයි. දමනක යනු වංචනික, ස්වකීය පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන චරිතයකි.
පිංගලකගේ චරිතයේ දක්නට ලැබෙන තවත් චරිත ලක්ෂණයක් වන්නේ සෘජු ප්‍රතිපත්තියකින් තොර වීමය. දමනකගේ උපදෙස් මත සංජීවක නම් වෘෂභයා සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගන්නා පිංගලක, දමනකගේ මුසා බස් අසා අවසානයේ සංජීවක නම් වෘෂභයාව ඝාතනය කරයි. නායකයෙක් වශයෙන් සෘජු ප්‍රතිපත්තියකින් කටයුතු කිරීමට පිංගලක අසමත් වේ.
අද අප රටේ බොහෝ දේශපාලන නායකයන්ගේ ස්වරූපය මෙසේය. මිත්‍රහේදයේ නිරූපිත චරිත හා නූතන දේශපාලනඥයා පිළිබඳ සංසන්දනය කර බැලීමේදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සෘජු ප්‍රතිපත්තියකින් තොර වීමය. වසර ගණනාවක් එක් පක්ෂයක එක් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිට කිසියම් හෝ හේතුවක් මුල් කරගනිමින් වෙනත් පක්ෂයකට ගොස් වෙනත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නූතන දේශපාලනඥයා තුළ දැකගත හැකිය. එපමණක් නොව කලින් සිටි පක්ෂයේ තමන් දැරූ ප්‍රතිපත්ති හෑල්ලුවට ලක් කරමින් හෙළාදැකීමට තරම් ඔවුන් අනුවණ වෙති.
මිත්‍රභේදයේ පිංගලක චරිතයට දසාන්තරව නූතන දේශපාලනඥයා තුළ දක්නට ලැබෙන තවත් චරිත ලක්ෂණයක් වන්නේ ආත්ම විශ්වාසයෙන් තොර වීමය. ප්‍රධාන පක්ෂයක නායකයෙක් හෝ වේවා වෙනත් පක්ෂයක නායකයෙක් හෝ වේවා කිසියම් මැතිවරණයක දී තමා පිළිබඳව හා තම නායකත්වය පිළිබඳ ආත්ම විශ්වාසයක් නොමැතිකම හේතුවෙන් තමා වෙනුවට මැතිවරණය සඳහා තරඟ කිරීමට වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ලාංකේය දේශපාලනය තුළ දක්නට ලැබේ. ලංකාවේ මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණ ද්විත්වය සඳහාම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම මෙයට කදිම නිදසුනකි.
මිත්‍රභේදයේ දමනකගේ චරිතය තුළින් නිරූපිත ස්වකීය පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමේ ලක්ෂණය නූතන දේශපාලනඥයාට ගහට පොත්ත මෙන් බැඳී ඇත. දේශපාලන බලය ලබාගත් පසු තමාට හා තම නෑදෑ හිතමිතුරන්ට සේවය කිරීම නූතන දේශපාලනඥයා  තුළින් දැකගත හැකිය. ගෙවී ගිය වසර දෙක තුන තුළ රාජ්‍ය දේපළ අවභාවිතය කිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන් සිරගත කිරීම, පවුල් පාලනය වැනි මාතෘකා පිළිබඳ සාකච්ඡාවට ලක්වූයේ මේ හේතුවෙනි.
වංචනිකභාවයද නූතන දේශපාලනඥයා තුළ දැකගත හැකි තවත් ලක්ෂණයකි. මැතිවරණයට පෙර ජනතාවට වූ පොරොන්දු ඉටු නොකිරීම දේශපාලනඥයා සිදු කරන ප්‍රධාන වංචාවකි. ඊට කදිම නිදසුනක් පිළිබඳ මෑතකදී මාධ්‍ය මගින් සාකච්ඡාවය ලක්විණි. සිංහල හා හිංදු අලුත් අවුරුදු දින ජීවිත ගණනාවක් බිලි වූ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම දේශපාලනඥයාගේ වංචනිකභාවය ලොවටම පෙන්වූ අවස්ථාවකි. කුණු කන්ද ඉවත් කරන බව පවසමින් මැතිවරණ ව්‍යාපාරයේ නියැළුණු දේශපාලනඥයන්ගේ නම් ගම් පවා මාධ්‍ය තුළින් අනාවරණය විය. කුණු කන්ද ආයුධයක් කර ගනිමින් බලය ලබා ගැනීමට දේශපාලනඥයන් කටයුතු කළ ආකාරය විපතට ලක් වූවන්ගේ මුවින් ලොවට අනාවරණය විය. මෙය බලය ලබාගත් පසු ජනතාවට වූ පොරොන්දු ඉටු නොකිරීම දේශපාලනඥයාගේ වංචනිකභාවය අනාවරණය වූ එක් සිද්ධියක් පමණි.
මිත්‍රභේදයේ චරිත තුළ මෙන්ම දේශපාලන චරිත තුළද දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ බල පොරයයි. මෙම බල පොරය ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර මෙන්ම එක් පක්ෂයක සාමාජිකයන් අතර ද දක්නට ලැබේ.



0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post