දැන්වීම්කරුවාගේ සමාජ වගකීම


ජනසන්නිවේදන ක්‍රියාවලිය තුළ දැන්වීම්කරණය ප්‍රධාන අංගයක් වී තිබේ. ජනමාධ්‍යයන්හි පැවැත්ම වෙළෙඳ අනුග්‍රාහකත්වය මත රඳා පවතින බව යථාර්ථයකි. පුද්ගලික මාධ්‍ය මෙන්ම රාජ්‍ය මාධ්‍යයේද යථාර්ථය එයයි. ජනමාධ්‍යකරණයේ දී ග්‍රාහකයා තුළින් ආදායම් උපයන්නේ පුවත්පත් මාධ්‍ය පමණි. එයත් ඉතා සුළු වශයෙනි. ගුවන්විදුලිය හා රූපවාහිනිය මුළුමනින්ම නඩත්තු වන්නේ දැන්වීම් ආදායම් තුළිනි. නූතන මාධ්‍ය ක්‍රියාවලිය තුළ දැන්වීම් සන්නිවේදනය ප්‍රබල සන්නිවේදන භූමිකාවක් ඉටු කරන්නකි. සෙසු සංදේශ සම්පාදනයට වඩා දැන්වීම් සන්නිවේදකයා ඉහළ ආදායම් උපයන වෘත්තිකයෙකු බවට පත් වී තිබේ. රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් බලන විට විනාඩි 30 ක් පුරා විකාශනය වන ටෙලිනාට්‍ය කොටසක් සඳහා දරණ වියදමට වඩා කිහිප ගුණයක වියදමක් තත්ත්පර 30 ක දැන්වීමක් සඳහා වැය කරනු ලබයි. ඒ අනුව දැන්වීම්කරණය ඉතා ඉහළ මිලක් සහිත වෘත්තීය කාර්යයකි.
දැන්වීම්කරණය සමාජ ප්‍රගමනය සඳහා වුවද යොදා ගැනීමේ අවකාශයක් පැවතිය ද අපට ග්‍රහණය වන දැන්වීම්වලින් 99%ක් පමණ වෙළඳ අවශ්‍යතාවය සඳහා නිර්මාණය වූ ඒවාය. මෙම දැන්වීම් නිර්මාණකරුවන් තම සන්නිවේදන හැකියාව සහ ධාරිතාව කැප කරන්නේ විවිධ වෙළඳ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීම හා ප්‍රවර්ධනය වෙනුවෙනි. මේ බොහෝ වෙළඳ භාණ්ඩ සහ සේවාවන් මනුෂ්‍යයාගේ අවශ්‍යතා සහ වුවමනාවන් පිරිමසන ඒවා නොවේ. ඒවා අවශ්‍යතාවලට වඩා ආශාවන් සංතර්පනය සඳහාය. ඒ සඳහා තවත් සමාන වෙළඳ තරකරුවෙකු සමඟ තරඟ වදින්නට සිදුවන අවස්ථා බහුලය. මෙහිදී බොහෝ සදාචාර සීමාවන් ඉක්මවා ක්‍රියාත්මක වීමට දැන්වීම්කරුවාට සිදුවේ. තම ස්වාමියාට හෝ සේවාදායකයාට ඉහළ වෙළඳපලක් නිර්මාණය කර දීම සඳහා පාරිභෝගිකයා තුළ ආශාවන් ජනිත කිරීමත් ඒවා අසහනයක් බවට පත් කිරීමත් අද දැන්වීම්කරුවාට පැවරෙන කාර්යයකි.
මිනිසා අත්විදින සරල සංහිදියාවෙන් යුත් ජීවිතය පුපුරවා හැර ඔහු බහුභාණ්ඩිකවාදී බඩගෝස්තරයෙකු බවට පත් කීරීමට බොහෝ සේවා දායකයින්ට ඇති අවශ්‍යතාව ඉටුකර දීමට දැන්වීම් සන්දේශකරුට සිදුවේ. ඒ සඳහා ඔහුට යොදා ගැනීමට සිදුවන ආකර්ශනයන් සමාජය අගතියට පත් කිරීමට හේතු වී තිබේ. ලිංගික ආකර්ශනය අද බොහෝ දැන්වීම්වල ප්‍රබල ආකර්ශන ප්‍රයෝගයකි. එසේම ජීවිතය පිළිබඳ ඇතිකරනු ලබන අස්ථාන භීතිකාව දැන්වීම්කරණයේ ද නිර්මාණයකි. මේ සියල්ල නිසා සමාජය තුළ අසහනය හා අසංතුෂ්ටිය වර්ධනය වී තිබේ. එසේම මෙකී අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජය තුළ පතුරුවා හරින මිත්‍යාවන් සියලු ආගමික හා දාර්ශනික යථාර්ථයක් ඉක්මවා ගොස් තිබේ.
සතුට මිලදී ගත හැකිය යන මිත්‍යාව ඇති කිරීම නිසා අද සමස්ත ලෝකයම දැඩි තරගකාරී අසහනකාරී තත්ත්වයකට ඇද වැටී තිබේ. අනවශ්‍ය තරම් කෘතිම ආහාර පරිභෝජනයට යොමු කිරීමේ අනිසි ප්‍රතිඵල වී ඇත්තේ මිනිසා වසංගත නොවන තර්ජනවල ග්‍රහණයට හසු වීමයි. තරබාරුකම සමාජය තුළ බරපතල ගැටළුවක් බවට පත් වී තිබේ. තරබාරුකම සඳහා ව්‍යායාම ලබා දීමට උපකරණ හඳුන්වා දීමද වෙළඳාමකි. කාමර තුළට වී සිදු කරන  ඒකාකාරී ව්‍යායාම ක්‍රමවලට වඩා පරිසරය සමඟ බද්ධ වෙමින් පලදායක ශ්‍රම වැගිරීමකට සමාජය යොමු කිරීම වඩා තෘප්තිමත් කාර්යයක් වුවද වෙළෙඳපල වෙනුවෙන් දැන දැන බොරු කිරීමට හෙවත් මිත්‍යාවන් වැපිරවීමට දැන්වීම්කරුවාට සිදු වී තිබේ.
කෘතිම බීම වර්ග සහ ආහාර වර්ග ප්‍රචාරණය කරනු ලබන්නේ ස්වභාවික එළවළු, පලා සහ පළතුරු ආහාරයට ගැනීම හෙළා දකිමිනි. එහි දුෂ්කරතා මෙන්ම නැති අවදානමක්ද පෙන්වා දෙමිනි. කෘතිම ආහාර දැන්වීම් සිය ගණන් ප්‍රචාරය වන අතරේ ස්වභාවික ආහාර පරිභෝජනය කිරීමේ වැදගත්කම ගැන කියැවෙන සෞඛ්‍ය අමාත්‍යාංශ දැන්වීම්ද ඒ සමඟ ප්‍රචාරණය වෙයි. මේ සියල්ල ඉදිරියේ ග්‍රාහකයා අසරණයෙකු බවට පත් වේ. සමාජය මිත්‍යාවන් වෙත රැගෙන නොයන දැන්වීම් සම්ප්‍රධායක අවශ්‍යතාව අප ඉදිරියේ තිබේ. ඒ අනුව දැන්වීම්කරණය සඳහා අවම ආචාර ධර්ම පද්ධතියක් සක්‍රීයව භාවිතයට ගත යුතුව තිබේ.

නිර්මාණාත්මක දැන්වීම්කරණයේ යෙදෙන සන්නිවේදකයින්ට මෙයාකාරයේ දැන්වීම්කරණයක් සඳහා  පරමාදර්ශී වූ දැන්වීම් කිහිපයක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණි. මන්චි බිස්කට් සඳහා පළවූ දැන්වීම් මෙන්ම ලංකාබෙල් ප්‍රචාරක දැන්වීම් මේ සඳහා අපූරු නිදසුන් කිහිපයකි. මිනිස් සමාජය හැඩි කර දමන ලිංගිකත්වය, අස්ථාන බිය ඇති කිරීම යනාදී පහත් ආකර්ශනයන් යොදා ගත් දැන්වීම්වලට වඩා මානව දයාව, බෙදාහදා ගැනීම සහ උනුන් රැකබලා ගැනීම වැනි සාරධර්මයන් ඉස්මතු කරන දැන්වීම්  නිර්මාණය කිරීම දැන්වීම්කරුවාගේ සමාජ වගකීමකි.

1 Comments

  1. හොද විග්‍රහයක්. අඛණ්ඩව අප්ඩේට් කරන්න.

    ReplyDelete

Post a Comment

Post a Comment

Previous Post Next Post