කාන්තාව හා සංවර්ධනය

1970 ගණන් වන විට විශාල වශයෙන් ස්ත්‍රී වාදයට හා කාන්තාව පිළිබඳ උනන්දුවක් දැක්වූ අය සංවර්ධන එළඹුම් පිළිබඳ විවේචනය කරන්නට විය. 70 ගණන් වන විට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ද මෙම විවේචන ඉදිරිපත් විය. එයට හේතුව වූයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන්වලින් කාන්තාව හුදෙකලා වී තිබීමයි. මේ නිසා කාන්තාව හා සංවර්ධනය පිළිබඳ උනන්දුවක් හා පර්යේෂණ ව්‍යාපෘති ආරම්භ කිරීමේ උනන්දුවක් ඇතිවීම සුවිශේෂී වේ. මේ නිසා කාන්තාව හා සංවර්ධනය යන ප්‍රතිපත්තිමය එළඹුම ක්‍රියාත්මක විය. මෙම එලඹුමේ දී පළමු ලෝකයේ කාන්තාවන් සමානාත්මතාවය අපේක්ෂා කළ අතර තුන්වන ලෝකයේ කාන්තාවන්ට තිබූ සුවිශේෂී ගැටළුව වූයේ සංවර්ධනයයි. කෙසේ වුවද මෙම එළඹුම් මඟින් කාන්තාවන්ගේ අවශ්‍යතාවන් හා සුවිශේෂී ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇය සංවර්ධනයේ දී දෘශ්‍යමාන කළ යුතුය යන්න ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් විය. දෙවනුව කාන්තාව සංවර්ධනය කාර්යය සදහා යොදා නොගනිමින් ඇය පුරුෂයා හරහා යම් යම් ප්‍රතිලාභ ලැබිය යුතුය යන සමාජ ආකල්පය වෙනස් කිරීමට උත්සාහ ගැණුනි. කාන්තාව සුභසාධනය ලැබිය යුතු අයෙකු නොවේ. ඇයද ඉතිහාසයේ යම් සුවිශේෂී අවස්ථාවන් හීදී පවා ආර්ථික කාර්යයන් සඳහා වැදගත් දායකත්වයක් සැපයීය. මේ නිසා කාන්තාව හඳුනාගත යුත්තේ ආර්ථික වශයෙන් පෙරටුගාමී චරිතයක් රඟ දැක්විය හැකි කෙනෙකු වශයෙනි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සංවර්ධනය යන ප්‍රතිපත්තිය මෙහිදී වැදගත් වේ. එමඟින් පවසන්නේ කාන්තාව පිළිබඳව පවතින ප්‍රශ්නය ඇය ගැන පමණක් සැලකීමෙන් විසඳිය නොහැකි බවයි. මේ නිසා කාන්තාව හා පුරුෂයා යන දෙදෙනාම ඇතුළත් සමාජයීය පර්යායක් ගොඩනැගිය යුතුය. මෙය කරුණු දෙකක් යටතේ හදුනාගත හැකිය.
01.  ප්‍රායෝගික ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අවශ්‍යතා
02.  උපාය මාර්ගික ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අවශ්‍යතා
මෙහිදී කාන්තා ක්‍රියාකාරීන්ගේ තර්කය වන්නේ ඉහත අවශ්‍යතා දෙකම සම්පූර්ණ කර ගැනීම මඟින් පමණක් කාන්තා ගැටළුවට අවශ්‍ය පියවර ගත හැකි බවයි. කාන්තාවට සුවිශේෂී වූ කාර්යයන් සඳහා පහසුකම් සලසන අතරම කාන්තාව දිරි ගන්වමින් ඇයගේ අභිවෘද්ධිය සඳහා සමාජයීය වෙනස්කම් සිදුකළ යුතුය. කාලයාගේ ඇවෑමෙන් විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුයත් සමඟ සන්නිවේදනයේ ප්‍රගමනය ද එකතු වීමෙන් ගැහැණිය ද මිනිසා තරම්ම ඥාණවන්ත වූද දක්ෂතාවලින් පරිපූර්ණ වූවාද මණක් නොව ඇතැම් අංශ වලින් පිරිමියාට වඩා ශක්ති සම්පන්න වූ පුද්ගල කොට්ඨාසයක් බව තහවුරු වී ඇත. ගැහැණිය සතුව පවතින දරා ගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මකව මෙන්ම ඇය වෙත පැවරී ඇති කාර්යභාරය අනුවද වඩාත් ප්‍රකට වේ. බුදු දහම අනුව ස්ත්‍රිය හා පුරුෂයා වෙන වෙනම හඳුන්වා දී ඇතත් ඉන් එක් කොටසකුදු අනිත් පක්ෂයට වඩා උසස් ලෙස සඳහන් කර නොමැත. පැරණි සමාජවල පැවති ආකල්ප සමඟ සසඳන විට වර්තමාන සමාජයේ කාන්තාව පිරිමින් සමඟ කරට කර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයන පිරිසක් බව අවිවාදයෙන් පිළිගැනෙන්නකි. එකළ පුරුෂ පක්ෂයට පමණක් සීමා වූ විවිධ වෘත්තීන්හි අද යෙදෙමින් නූතන කාන්තාව ඒ බව නිසි පරිදි සනාත කර ඇත. සහජයෙන් ලැබෙන ඥාණවන්ත භාවය අතින් හෝ විවිධ ක්ෂේත්‍රයන්හි හා විවිධ කාර්යයන්හි පුරුෂ පක්ෂයට සරිලන සේ කුසලතා ප්‍රදර්ශනය කිරීම අතින් ද අද කාන්තාව සමාජයේ ඉදිරියටම ගොස් ඇත. සම්ප්‍රධායික ආකල්පය අනුව ගැහැණියකට පැවරී ඇති කාර්යය කොටස් ද නොපිරිහෙළා ඉටු කරන අතරම විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් දෙආකාර භූමිකාවන්හි සාර්ථක ලෙස නියැලී සිටින කාන්තාවෝ අද බහුල වෙති. එමඟින් මුලින්ම තම පවුලේ අනාගත දියුණුව සඳහා ද ඒ සමඟම පොදුවේ රටේ සංවර්ධනය උදෙසා ද ඔවුන් අතින් ඉටුවන මෙහෙවර අනභිබවනීය වේ.

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post